..:: මින්දදගෙ සිතුවිලි තෝතැන්න ::..

මා සිත් ඉමට ගොඩවඩින්නට අවසර...

ලෝකය අමතක වෙච්චි මට...






සොයමින් ඇවිදින අපිට...





දහ අට වෙනකම් බලන් හිටිය අපිට....


වෙලාව අටයි විසිහතයි. බස් එකෙන් බැහැලා ඔෆිස් එකට දුවගෙන එනකොට හොඳට දැකලා පුරුදු මුහුණක් ඇස් කොණින් විදුලියක් වගේ මාරු උනා. මම නැවතිලා ආපස්සට හැරුනේ ඉබේටමයි. එයත් ආපස්සට හැරිලා..

"ප්‍රසාදී... "

"මින්දික... "

කොච්චර කාලෙකට පස්සෙ ද අපි දෙන්නා හම්බ වුනේ... දෙන්නම තත්ත්පර ගානක් දෙන්න දිහාම බලන් හිටියා...

" ඔයා කොහෙද මේ... කවදද ලංකාවට ආවේ... කෝ ඔයාගේ දිග කොණ්ඩේ... කෝ ජීවක..."

වචන හිරවෙලා හිටිය තත්ත්පර ගානටත් එක්ක මගෙන් ප්‍රශ්න වැලක් දෝරේ ගලනවා. ඒත් ප්‍රසාදී තාමත් මගේ දිහා බලාගෙන... ඒත් කෝ ඉස්සර ඒ ඇස් වල තිබුනු දිස්නේ..

"ප්‍රසාදී..."

ප්‍රසාදීලා අපේ ගෙවල් එහා පැත්තෙ තිබුනු ඉඩමේ ගෙයක් හදාගෙන ආවේ අපි දෙන්නම හතර වසරේ ඉන්නකොට... අපේ පාරේ තිබුනු අන්තිම ගෙවල් දෙක අපෙයි ප්‍රසාදීලගෙයි. ඊට පස්සෙ තියෙන වෙලට බහින මහ නියරයි පිං ළිඳයි තිබුනේ අපේ ගෙවල් දෙක මැද්දෙන්. ඉතින්..

" මින්දික.. ඔයා මහත් වෙලා..."

" අහ්... ළමයට තාම සිංහල මතකයි.. ඔව් දැන් සැප වැඩියිනේ. ඩබල් වෙලා නේද..."

ප්‍රසාදීගේ මුහුණ තවත් අඳුරු වුනා.

" සිංහල විතරක් නෙවෙයි මින්දික.. මට ඔක්කොම දේවල් මතකයි..."

මෙච්චර වෙලා මගේ මූනේ තිබුනු හිනාව කට කොණින් මහ පාරට පැනලා රේස් එකට අපූ 138 බස් දෙකකට යටවුනා...

අපි දෙන්නා ඉස්සෙල්ලම මුණගැහෙනකොට අපිට වයස නමයයි. සෙල්ලම් බත් උයන වයස පහු වෙලා තිබුනත් අපිට කරන්න ඕනේ තරම් සෙල්ලම් තිබුනා. මමයි, ප්‍රසාදීයි, ප්‍රසාදීගේ මල්ලියි එකතු වෙලා වෙලේ යනවා ගප්පි අල්ලන්න. ප්‍රසාදීට තමයි වැඩියෙන්ම සාරී ගප්පි ඇල්ලෙන්නේ. මොකද එයානේ එකම ගැහැණු ළමයා... මොකා ඇල්ලුනත් පහුවෙනිදා උදේට ඔක්කොම ආයෙමත් වක්කඩේ. එයාගේ සාරි ගප්පි ටික විතරක් නම් මදෑ.. අපි දෙන්නගේ නිකන් ගප්පි ටිකත් ගිහින් හලන එකනේ ඉවසගන්න බැරි...

" කෝ බලන්න මුද්ද... බබාලත් ආවද..."

මම ප්‍රසාදී අත දෙන්නත් කලින් එයාගේ වම් අත ඇදලා ගත්තා. අත පාලුයි. මුද්දක් තියා වළල්ලක්වත් නැහැනේ.. ඉස්සර කොයි වෙලාවෙත් එයාගෙ අතේ අඩුම ගානේ ෆ්‍රෙන්ඩ්ශිප් බෑන්ඩ් එකක්වත් තිබුනා.

" මට ඔයත් එක්ක කතා කරන්න ඕනේ මින්දික.. ප්ලීස්... මට ඔයාගේ එක පැයක් දෙන්න..."

මට වෙලාව බැලුනේ ඉබේටමයි. දැනුයි මතක් වුනේ මම ඔෆිස් යන ගමන් කියලා... අටයි තිස් පහයි. දැනටත් පරක්කුයි. ඒත් ප්‍රසාදී... මොනවද ප්‍රසාදීට මෙච්චර මාත් එක්ක කතා කරන්න තියෙන්නෙ...

" හරි... අපි කේ.එෆ්.සී එකට යමු. මෙතන ඉදන් කතා කරන්න බැහැනේ."

ප්‍රසාදී ඔලුව වැනුවා. අපි දෙන්නා කේ.එෆ්.සී පැත්තට ඇවිදින්න ගත්තා. මම යන අතරතුරේ බොසාට එස්. එම්. එස් එකක් යැව්වා හාල්ෆ් ඩේ එකක් ඉල්ලලා.

ප්‍රසාදීට ඉඳ ගන්න කියලා මම කවුන්ටරේට ගිහිල්ලා කෝක් දෙකක් අරගෙන ආවා. ප්‍රසාදී පාරෙන් එහා පැත්තෙ තියෙන මහරාජා ටවර්ස් දෙක දිහා බලාගෙන බර කල්පනාවක...




" මෙන්න බොන්න..."

" මේ ටවර්ස් දෙක අලුතෙන් ද හැදුවේ..."

" ඔව්.. අලුතින් හැදිච්චි ගොඩක් දේවල් තියෙනවා..."

ප්‍රසාදී මගේ පැත්තට හැරුනා. එයාගේ ඇස් දෙක දිලිසෙනවා. ඔව්. ප්‍රසාදී අඩනවා...

" ප්‍රසාදී... ඇයි මේ... කෝ ජීවක... ඇයි ඔයා තනියම...?"

පහතට දාගෙන හිටිය ප්‍රසාදීගේ වම් අත අරගෙන එයා මේසේ උඩින් තිබ්බා. පාලු අත... මගෙත් දකුණු අත උඩට ඇවිදින් එයාගේ අතට අඟලක් දෙකක් එහායින් නැවතුනේ මටත් නොකියම... පාලු අත...

" ජීවක බැන්ඳා මින්දික... ඒත් මම බැන්ඳේ නැහැ.."

අපි දෙන්නා ශිෂ්‍යත්වෙට පාඩම් කලේ එකට... ඒකෙන් පාස් වෙලා මම ආනන්දෙට තේරෙද්දි එයා තේරුනේ ගෝතමී එකට. අම්මලා කතා වෙලා අපි දෙන්නව දැම්මේ එකම ස්කූල් වෑන් එකට. හැම තැනම බෝම්බ පිපිරෙන ඒ කාලේ වෑන් එකේ ගිය පලවෙනි දවසෙ අපි එනකම් බලාගෙන හිටිය ප්‍රසාදීගේ අම්මා මගේ ලඟට ඇවිත්,

" දෙන්න එකටනේ එන්නේ යන්නේ... මගදී මොනවහරි වුනොත් ප්‍රසාදීව බලාගන්න ඕනේ හරිද..."

" හරි ඇන්ටි... මම බලාගන්නම්. අපි දෙන්නා එකටනේ ඉන්නේ..."

මම නැමිලා හපාගෙන හිටිය බටය අත ඇරලා දාලා ඔලුව කෙලින් කලා.

" ජීවක බැන්ඳා.. මම බැන්ඳෙ නැහැ... මොනවද හලෝ කියන්නෙ..."

හලෝ..? ඒ කාලේ වචනමයි තාමත් එන්නේ.

" ඔව් මින්දික... ජීවක බැන්ඳා... ඒත් මාව නෙවෙයි. ජීවක දැන් ලංකාවේ නැහැ මින්දික. එයාලගේ අම්මලා එයාව ඉතාලියට ගෙන්න ගත්තා."

අපි දෙන්නා හුඟක් දේවල් කලේ එකට.. ගියේ එකම ක්ලාස් වලට. පාඩම් කලේ එකට. ලයිබ්‍රරි ගියේ එකට. කියෙව්වේ එකම පොත්. අපි දෙන්නට එකට කරන්න කොච්චර දේවල් තිබුනද... අපි දෙන්නට කතා කරන්න කොච්චර දේවල් තිබුනද...

ඒත් ඕලෙවල් වලට මට තරම් රිසල්ට් එකක් එයාට ආවේ නැහැ. ඉතින් එයා " මම කොහොමත් කැරපොත්තෝ කපන්නේ කොහොමද.." කියලා කල්පනා කර කර හිටියේ කියලා ආශාවෙන් කර කර හිටිය බයෝ අත ඇරලා කොමර්ස් වලට මාරු උනා. මමත් කර කර හිටිය මැත්ස් කෙරුවාව අත ඇරලා කොමර්ස් වලට ආවා. කොහොමත් මටනම් ඒ වෙනකොටත් සයින් ටීටා එපා වෙලයි තිබුනේ..

ප්‍රසාදී ඔලුව පාත් කර ගත්තා.

" එතකොට ඔයාගේ අම්මා අපේ අම්මත් එක්ක කියලා තිබුනේ ඔයාලා දෙන්නා බැඳලා ඉතාලි ගියා කියලා. ඊට පස්සෙ ඇන්ටිලත් ගෙවල් අත ඇරලා ගියා. ඔය සිද්ධිය වෙලත් දැන් අවුරුදු 4 කටත් වැඩියි. මම හිතන් හිටියේ දැන් අඩුම ගානේ ෆූට් බෝල් ටීම් බාගයක්වත් ඇති කියලා..."

" ඔයා වෙනස් වෙලා නැහැ මින්දික..."

ප්‍රසාදී පෙබරවාරී දොළහා. මම අගෝස්තු විස්ස. ප්‍රසාදී මට වැඩිය මාස හයක් වැඩිමල්. දවසක් ඒ ලෙවල් ක්ලාස් එකකට යන අතරතුර ප්‍රසාදී මගෙන් ඇහුවා,

"කොල්ලා කෙල්ලට වඩා බාල වුනොත් ඒක ප්‍රශනයක් ද.."

මගෙන් ඇහුවේ ප්‍රශ්නයක් වුනාට මට දැනුනේ ඒක මට ලැබුනු උත්තරයක් කියලා. කොහේදෝ මන්දා මටත් නොදැනිම තිබිච්චි සිතුවිලි ගොන්නක් කඩලා දාපූ වක්කඩක් වගේ මගේ හිතට එන්න ගත්තා. අර අපි පොඩි කාලේ ගප්පි අල්ලපු වක්කඩ වගේ... පාට පාට සාරී ගප්පි පිරිලා...

" අවුරුදූ ගානක් නම් ප්‍රශ්නයක්... ඒත් මාස ගානක්නම් ප්‍රශ්නයක් වෙන්න බැහැ කොහෙත්ම..." මම මගේ ප්‍රශ්නේ මුල පද ටික ඇහුවා.

වක්කඩ කැඩිලා. ප්‍රසාදීගේ ඇස් දෙකෙන් කදුළු ගලනවා... කඳුළු... උණු කඳුළු බිංදුව බිංදුව සීතල කෝක් එකට වැටෙනවා..

" ඒ ඔක්කොම බොරු මින්දික... හැමදේම බොරු. මුල ඉඳලා අග වෙනකම්ම බොරු. මම රැවටුනා මින්දික... මට මාව අදුර ගන්න බැරි වුනා මින්දික. මට මිනිස්සු අදුර ගන්න බැරි වුනා මින්දික. ඇයි ඔයා මාව තනි කෙරුවේ... ඇයි ඉස්සර වගේ "ඕකනම් කරන්න එපා හලෝ..." කියන්න මගේ ලඟින් හිටියේ නැත්තේ... මම කවදද ඔයාට යන්න කිව්වේ... කවදද ඔයා මගෙන් යන්නද කියලා ඇහුවේ... ඇයි මින්දික ඇයි... ඇයි මට මේහෙම වුනේ...කියන්න මින්දික ඇයි..."

දෙන්නම කොමර්ස් වලට මාරු වෙලා දෙවනි මාසෙ මම ප්‍රසාදීගෙන් ඇහුවා. " ඔයා මට කැමති ද" කියලා වචන තුනකින් නෙවෙයි. ෆුල්ස්කැප් කොළ හතරක කතාවකින්... මට ඒ තරම් දේවල් කියන්න තිබුනා. අවුරුදු අටක කතාවක් ඒ පිටු හතරට කැටි කරන්න මට මුලු රැයක් නිදි මරන්න වුනා.

පහුවෙනිදා උදේ මම බස් හෝල්ට් එකේදි පොඩියට නමපු මගේ ජීවිතය ප්‍රසාදීට දුන්නා.

"මොකක්ද මේ..."

" මම ලියපු පොඩි කතාවක්... හෙමින් සැරේ කියවලා බලලා මොනවහරි කියන්නකෝ..."

එදා හවස ප්‍රසාදී පුංචි බොරැල්ල බස් හෝල්ට් එකේ හිටියේ නැහැ. මම තුන වෙනකම් බලන් හිටියා. ඒත් එයා ආවේ නැහැ. මම ගෙදර ඇවිත් ඇදුම් මාරු කරන්නෙත් නැතිව ප්‍රසාදීලගේ ගෙදරට ගියා. ඔක්කොම දොරවල් වහලා. ඔයා කොහෙද හලෝ...

මං දෙවනි දවසටත් නිදි නැහැ. පහුවෙනිදා උදේ යද්දි ප්‍රසාදී බස් හෝල්ට් එකේ ඉන්නවා.

" ඊයේ හවස මොකද වුනේ හලෝ..."

කෝ ප්‍රසාදීගෙ හිනාව...?

"මින්දික... ඔයා හැමදේම තේරුම් අරගෙන තියෙන්නෙ වැරදියට..."

මගේ පිටු හතරක කතාවට එයාගෙ විචාරය වචන හයක් විතරයි.




සීතල කෝක් දෙක උණුසුම් වෙනවා. අයිස් කැට දැන් පේන්නෙත් නැහැ.මම ප්‍රසාදීගෙ අතින් අල්ලා ගත්තා. මගේ පාලූ දකුණු අතින් මම ප්‍රසාදීගෙ පාලු වම් අත අල්ලා ගත්තා.

" ඔයා මට යන්න කිව්වෙ නැහැ ප්‍රසාදී... මමයි ගියේ... ඇයි මං තව ඉන්නේ... ජීවකයි මායි අහසට පොළව වගේ. මගේ තුන් වෙනි පරම්පරාව වත් දැන් ජීවකලා ඉන්න තැනට එන එකක් නැහැ. ඉතින් එහෙම එකේ ඔයාගේ ඇහෙ කොණකින්වත් පේන්න මම ඉන්නේ ඇයි ප්‍රසාදී...?"

" ජීවිතය කියන්නෙ සල්ලි නෙවෙයි මින්දික..."

තමන්ගෙ පලවෙනි චිත්‍රපටයම වාරණය වෙච්චි අධ්‍යක්ෂකයා ඊට පස්සෙ නාට්‍ය චිත්‍රපට පිස්සෙක් වුනා. ක්ලාස් වෙනුවට ෆිල්ම් හෝල් වල, එල්පින්ස්ටන් එකේ, නව රඟහලේ, යූත් සෙන්ටර් එකේ කාලය කකා මුල්ම චිත්‍රපටයේ මතකය අමතක කරන්න ක්‍රම හෙව්වා. දවසක් ඒ වගේ තැනකදි හම්බවෙච්චි ඒ වගේම තව අධ්‍යක්ෂක කෙනෙක් අමුතු රහසක් කියලා දුන්නා.

" වරෙන් මචං.. අපි සෙට් වෙලා උඹෙයි මගෙයි තිර නාටක දෙක විශ්ලේෂණය කරමු... එතකොට හොයා ගන්න පුලුවන් කොතනින්ද අපි පිට පැන්නේ කියලා.."

එදා මම පලවෙනි වතාවට සෙට් වුනා. සිය දහස් වාරයක පලවෙනි වතාව... ඩීසීඑස්එල් අති විශේෂ සිට බ්ලැක් ලේබල් ශිවාස් දක්වා ගමනක මුල්ම අඩිය.

අපි දෙන්නා එලියට ආවා. අද මම ඔෆිස් යන්නෙ නැහැ. ප්‍රසාදී තාමත් මගේ අතින් අල්ලගෙන. මම මුලු ලෝකෙම අතින් අල්ලගෙන.

"කොහෙද යන්නේ..." මගේ ලේන්සුවෙන් කඳුළු පිහිදන ගමන් ප්‍රසාදී ඇහුවා.

" යන්නෙද... යන්නෙ පුංචි බොරැල්ලට... පුංචි බොරැල්ලේ ඔයාලගේ හෝල්ට් එකට... එතනින් අපේ ගෙදරට... අපි දෙන්නගේ ගෙදරට... ඒ තැන් දෙක අවුරුදු අටක් බලාගෙන හිටියා අපි දෙන්නා එනකම්..."

ප්‍රසාදී හිනාවුනා... මගේ හලෝ හිනා වුනා...







තැලෙන යකඩ හැමදාම තැලෙන්නෙ නැහැ... යකඩ තැලෙන්න තැලෙන්න ගිනියම් වෙනවා. දවසක ගිනියම මුලු ලෝකෙටම දැනේවී...

එදාට තැලෙන්න තැලෙන්න තවත් යකඩෙම තලපු ඔක්කොටම වන්දි ගෙවන්න වේවී. මොකද තලන උන් දන්නෙ නැහැ අද තැලුනත් මේ යකඩයක් කියලා...


පළමුවෙන්ම වැදගත් කාරාණාවක් අවධාරණය කල යුතුය. ගීතය, කවිය, සිනමාව වැනි කතා කල යුතු දහසක් දේ තිබියදි ලාංකීය දේශපාලනය වැනි පුහු මාතෘකාවක් ගැන කතා කිරීමට මගේ කිසිදු කැමැත්තක් නැත. නමුත් පසුගිය සතියේ ඇති වූ තත්ත්වයත් සමග බොහෝමයක් මගේ මිතුරන් ඇන්දී ඇති බව වැටහුනෙන් යම් දෙයක් කල යුතු බව දැනුනා. ඒ හින්දා මගේ ප්‍රතිපත්ති වලින් මදකට බැහැර වී මේ පෝස්ට් එක දාන්න හිතුනා…

~ ~ ~ ~ ~

නිධාන කතාව…
බොහෝ යුධ හමුදා වලට සේම ශ්‍රී ලාංකීය හමුදාවට “දිගු දුර විහිදුම් බලකායක්” ඇත. යුද්ධය සමයේ පුවත් ඇසූ සැමට මේ වචනය හොඳට කණට පුරුදු ඇති. මේ බලකායෙන් සිදුවන්නේ කුඩා කණ්ඩායම් වශයෙන් (බොහෝ විට 3-4) සැදී සතුරු පාලනයේ යටතේ පවතින ප්‍රදේශ වලට සතුරන්ට නොදැනී බොහෝ ඇතුලට කා වැදි කලින් හදුනාගත් ඉලක්කයක් වැනසීම හෝ විශාල මෙහෙයුමකට අවශ්‍යය වන සිතියම් ආදිය පිළියෙල කිරීමයි. මේ සදහා තෝර ගන්නේ විශේෂ බලකායේ (SF) සෙබලුන්ය. කිසිදු හදිසි අවස්ථාවක් අනෙක් සෙබල කණ්ඩායම් වලින් සහයක් ලබා ගත නොහැකි වටපිටාවක දින ගණන් සතුරු පාලන ප්‍රදේශ වල තම මෙහෙයුම් සිදුකරන මොවුන් භාවිතා කරන විශේෂ ක්‍රමෝපාය අතර මොවුන්ගේ ආහාර රටාවද සුවිශේෂිය. මොවුන් බොහෝවිට තම මෙහෙයුම් වල්ට රැගෙන යන්නේ අධි පෝෂිත බිස්කට්ය. ඒ වගේම තම මෙහෙයුම බලාපොරොත්තු රහිත පරිදි දික් ගැස්සුනොත් සහ සතුරු බලමුලුවල ඇස් වලින් බේරී නැවත ආරක්ෂිත කලාපයට එන මග ඇහැරුනොත් කිසිදු කෑමක් බීමක් නැතිව තම ජීවිතය සතියකට ආසන්න කාලයක් වුවත් රැක දීමට සමත් අධිපෝෂණ බෙහෙත් වර්ගද ඔවුන් තම මෙහෙයුමට රැගෙන යනවා.

~ ~ ~ ~ ~


එක්සත් ජාතීන්ගෙ සංවිධානය ලංකාවේ මානුෂීය මෙහෙයුම් පැවති අවසාන සමයේ සිදු වුනේයැයි කියන සිද්ධීන් ගැන පරික්ෂා කරන්නට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කලේය. කෙනෙක් උත්සහ කරනවා නම් එය එක්සත් ජාතීන්ගෙ සංවිධානය පත් කල කමිටුවක් නොව එහි මහ ලේකම් බැන් කී මූන් පත් කල කමිටුවක් බව හුවා දක්වන්නට, එය වැරදිය. එක්සත් ජාතීන්ගෙ සංවිධානය යනු තම හිතුමනාපෙට වැඩකිරිමට හැකි ෆැමිලි බිස්නස් එකක් නොව මුලු ලෝකයම ඒකරාශී වී ඇති කරගත් සංවිධානයකි. එහි සියලු කටයුතු ක්‍රියාත්මක වන්නේ මහ සමුලුවන් වලදී සම්මත කරගත් ව්‍යවස්ථාවකට අනුකූලවය.

කිනම් අයුරකින් හෝ එසේ පත්කරන ලද කමිටුවට ශ්‍රී ලංකා රජය තම අකමැත්ත එක එල්ලේ ප්‍රකාශ කරන ලද අතර ඔවුන්ට ලංකාවට පැමිණිමට අවශ්‍යය වීසා ලබා දීමද ප්‍රතික්ශේප කරන ලදී. ස්වෛරී රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට හානි වන පරිද්දෙන් සිදුවෙන ඕනෑම කටයුත්තකට එරෙහිව රටක් වශයෙන් ලංකාව කොන්ද නමාගෙන ඉන්නේ නැති බව මුලු ලෝකෙටම කියන්නට රජය ගත් එම ක්‍රියාමාර්ගය අප සැමම පැසසිය යුතුය.

මෙවන් වටපිටාවක අපේ “සහෝදරයා” කරලියට එනවා. ඔහු වැඩ අරඹන්නේ එක්සත් ජාතීන්ගෙ සංවිධානයේ ලංකා නියෝජිතයත් වැටලිය යුතුය වැනි ප්‍රකාශයත් සමගින්. එම ප්‍රකාශයත් සමග දේශපාලනික වශයෙන් උණුසුම් තත්ත්වයක් ඇති වෙනවා. “කල දුටු කල වළ ඉහ ගැනීමේ” ගතිය තම ජානවල මුල් බැහගෙන ඇති අපේ “සහෝදරයා” මේ අවස්ථාව තම දේශපාලන ඇසින් හොදින් ග්‍රහණය කර ගත්තා. තමන්ගේ මුල් පුටුවට යන ගමනේ “රන් අකුරෙන් ලියවෙන” සටහනක් තබන්නට මේ තරම් හොඳ තවත් මොහොතක් ආයේ කවදානම් ඒවිද…

බහුතරයක් වන පහළ හා පහළ මධ්‍යම පාන්තික ඡන්ද ඉලක්ක කරගෙන ඔහු තම ව්‍යාපාරය ඇරඹුවා. නවීන වෛද්‍යය තාක්ෂනයේ මහිමය ලොවටම කියාපාමින් ඔහු තමාගේ “ඒක පුදගල” ප්‍රසංගය රඟ දැක්වුවා. තමන්ට ලක්ෂ දෙක හමාරක් ඡන්ද ලබා දුන් මුලු කොළඹ දිස්ත්‍රික්කය පුරාම මේ “ඒක පුද්ගල” ප්‍රසංගයට මහා ප්‍රචාරයක් ලබා දුන්නා. කොළඹ හංදියක් හංදියක් පාසා එසවුනු කටවුට් නම් කීයක් තිබුනද.. ප්‍රචාරණ වියදම සැර වුනත් ලක්ෂ දෙක හමාර ඊළඟ සැරේ ලක්ෂ හතර හමාර වෙනවනේ කියලා අපේ “සහෝදරයා” හිත හදා ගත්තා…

මේ ඒක පුදගල ප්‍රසංගයේ හොඳම කොටස රඟ දැක්වුනේ ඉරිදා. අපි කවුරු කවුරුත් දන්නා ප්‍රේම සම්බන්ධයේ සෙනෙහෙ කොළ විද්යුත් මාධ්‍ය ඔස්සේ හුවමාරු වුනා. අපේ සහෝදරයාගේ දෑස රිදෙනවාලූ පාර බලා ඉදලා.. අනේ මෙහෙමත් කෝලං.

ඔහු කුමක් කලත් අපට කම් නැත. නමුත් ඔහුගේ සහ ඔහු පිහිටුවා ගත් පක්ෂයේ දේශපාලනික අනාගතය වෙනුවෙන් මුලු මහත් රටක් පාවා දීම කිසිසේත්ම අනුමත කල නොහැක. මහත් වූ ජනතාවක් නොදන්නාමුත් මේ කාරණාවට අදාල සියලු විදෙස් රටවල් මෙහි සැබෑ තත්ත්වය දනී. විදෙස් රටවල් හමුවේ ශ්‍රී ලාංකීය කීර්තී නාමය පළුදු උනා හැරෙන්නට මෙතෙක් වෙනතුරු සිදු වූ වෙනත් දෙයක් නැත. ඊටත් වඩා බරපතළම කාරණය වන්නේ මෙමගින් අප ලෝකෙටම දෙන පණිවිඩයයි. එනම් මෙතරම් ප්‍රතිරෝධයක් ගොඩ නැගෙන්නේත් ඒ සදහා එක්තරා විදිහකට සිංහල මූලික සංවිධානයක් පෙරමුණ ගන්නේත් ඇත්තටම ලංකාවේ යුධ අපරාධ සිදු වුනු නිසා තමයි කියන පණිවිඩයයි. ඕනේම පිටත දෙස මේ ගැටලුව දෙස බලන තුන්වන පාර්ශවයකට එන හැඟීම මෙය නොවේද... පටු දේශපාලනික අරමුණු හිත් දරා "කාඩ්බෝර්ඩ් වීරයෙක්" වෙන්නට දැරූ තැතේ අනිසි ප්‍රතිවිපාක මොනවාදැයි අපි බලා හිදිමු. එවන් කිසිවක් නොවේවා කියා අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු.

මම දීරඝ විස්තරයක් කලා. මෙහි කිසිදු උපුටා ගැනීමක් නැති අතර සියලු අදහස් හුදෙක්ම මා සිතට ආ අදහස්. කට්ටිය හිතලා බලන්න මම කියලා තියෙන දේවල් ගැන. අවසානෙට මේකත් මතක තියාගන්න. ලාංකීය දේශපාලනයේ තේමා පාඨය. “ මීයක් කඩන්නේ අත ලේවකන්න විතරක් නෙවෙයි…”




බොහෝ කාලයක් නිර්මාණ ඉඩෝරයකට ලක්වෙලා හිටිය මගේ සිතට පුංචි පද පෙළක් ආවා...

සටහන...

ජී.එස්.පී + සහනය යනු කුමක්ද...

යුරෝපා සංගමය විසින් තෝරා ගත් රටවල් 16 කට රේගු බදු වලින් තොරව තම අපනයනයත් සංගමයේ සාමාජික රටවල වෙළදපොළවල් වලට ලබා දීමේ හැකියාව ඇති කරමින් දුන් විශේෂ සහනයක්...

එහි ඇති වැදගත් කම කුමක්ද...

ඉන්දියාව, චීනය වැනි අඩු පිරිවැයකින් මහා පර්මාණයෙන් නිෂ්පාදනය කරන භාණ්ඩ වල මිල හා සැසදීමට මෙසේ ලැබෙන බදු සහනය එම සංවර්ධනය වෙමින් පවතින කුඩා රටවලට ඉතා වැදගත්. එය නොමැතිව තම නිෂ්පාදන වල මිල ඉහල යාම නිසා අතිශයින් ලාබදායික යුරෝපා සංගමය වැනි වෙළඳ පොළක තරගයක් දීමට ඇති හැකියාව එම රට වලට නැතිව යනවා...

ජී.එස්.පී + සහනය සහ ශ්‍රී ලංකාව...

මෙතෙක් දවසක් ශ්‍රී ලංකාවට හිමිව තිබූ ජී.එස්.පී + සහනය අගෝස්තු මස 15 වෙනිදා සිට අත් හිටුවන බව යුරෝපා සංගමය නිවේදනය කර ඇත. හේතුව...?

ප්‍රථිපලය...

ලංකාවේ ප්‍රධානම අපනයනය වන ඇඟලුම් වලට තම දෙවනි ප්‍රධානම වෙළද පොළ අහිමි විය හැක. එමගින් ඇඟලුම් කර්මාන්තයේ සේවයේ නියුතු සිය දහසක් දෙනාගේ රැකියා අවිනිශ්චිත විය හැක.

විසදුම...

ශ්‍රී ලංකා රජය මැදිහත් වූ ඇගලුම් කර්මාන්තය රැක ගතු යුතුය. විදේශ විනිමය සහන, සහනාධාර මගින් කර්මාන්තය රැකගෙන ඉහත් කී රටවල් සමග තරග කිරීමට හැකි වන අයුරින් පලදායිතාව වර්ධනය කර ගතු යුතුය.

ක්‍රියාත්මක වීම...

අපි බලා ඉදිමු !

මේකත් අර දවස්වල ලියපු එකක්. අද තමයි හදිස්සියේ හරි රූපකඩ වැඩ ටික කරගන්න හම්බවුනේ...

නිර්මානය ගැනනම් අමුතුවෙන් දෙයක් කියන්න නැහැ. මගේ හිතට ඔහේ ගලාගෙන ආපු වචන ටිකක් ඔහේ ලියලා දැම්මා... ඇත්තම කියන්න ඒ සිතුවිළි වලට බාධා කරලා, කපලා හදපු එකම තැනයි මේ පද වැල පුරාම තියෙන්නෙ. හිතේ ඇදිච්චි වචන පෙළක් අකුරු කරපු එක විතරයි මම කලේ. එතනින් එහාට කිසිම පාලනයක් නැතිව හිතුමනාපෙට එලියට පැනපු මගේ සිතුවිලි යායේ ඇවිදලා බලන්නකෝ එහෙනම්...


තියෙන පුංචි වෙලාවෙන් අලුත් පෝස්ට් එකක් දානවද, නැත්නම් උදේ දාපූ පෝස්ට් එකේ කමෙන්ට්ස් වලට රිප්ලයි කරනවද කියලා ටිකක් කල්පනා කරලා බලපුවහම හිතුනා, මොකක්හරි අලුත් දෙයක් ඔයාලත් එක්ක බෙදා හදා ගන්න එකත් ඔයාලට ස්තූතියි කියන්න පුලුවන් එක්තරා විදිහක් නේද කියලා... ඒ හින්දා දැන් මම අර උඟුඩු සෙයියාවෙන් හිටපු දවස් වල කරපු නිර්මානයක් පල කරන්නයි යන්නෙ...

එදිනෙදා පාරේ තොටේ යනකොට අසරණ කමට අපෙන් යමක් ඉල්ලගන්න එන මිනිස්සු කී දෙනෙක් අපිට දවස ගානේ මුණ ගැහෙනවද.. උදේ හවස බස් එකෙන් රැකියාවට යන එන අය ඔය අත්දැකීම ඕනේ තරම් විඳලා ඇති. "හිඟන්නෝ" කියලා සර්වනාමයෙන් අපි ඒ අය හැමෝම හැදින්නුවාට ඒ අය අතරත් නොයෙකාකාර ගැහැණු පිරිමි ඉන්නවා. නමුත් ඒ අය අතරිනුත් අන්තම අසරණයන් ඒ අයගේ පුංචි ළමයි...



ඒ අයට ජීවිතයේ මූලික අවශ්‍යතාවයන් පවා සපුරා ගන්න එක ඉර පායපූ වෙලාවේ ඉදන් බැහැලා යන මොහොත වෙනකම් තියෙන මාරාන්තික තරගයක්. අපි සමහර වෙලාවට ඒ මිනිස්සු දිහා පිළිකුලෙන් බැලුවට ඒ මිනිස්සුන්ගේ හිත් අපේ හිත් වලට වඩා කොච්චර හයියද කියලා මොහොතක් වත් අපි කල්පනා කරලා තියෙනවද...

ඉතින් මං මගේ යාලුවෝ හැමෝටම ආරාධනා කරනවා පොඩ්ඩක් ඒ ගැන හිතන්න කියලා... අපේ ජීවිතයෙත් සමහර වෙලාවට එන ප්‍රශ්නවලට මුහුණ දෙන්න ඒක පන්නරයක් වේවි.

කොහොමද යාලුවනේ...

හුඟක් දවසකට පස්සෙ බ්ලොග් එකට එන්න පුලුවන් වුනේ. 15 වෙනිදා වෙනකම් ඇටි කෙහෙල් කාපු උඟුඩුවා වගේ ඉන්න හිතන් හිටියට මට යාලුවෙක් කිව්වා මචන් දවසකට රු.100 ගානෙ ගෙවලා වේගය හදාගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා කියලා. පස්සෙ කොහොමද කරන්නෙ කියලා අහගන්න ඩයලොග් එකට කතාකලහම කිව්වා දැන් ගාන රු.250 ක්ලු. ඕන්න ඔහේ ඕනෙ වෙඩින් එකක් වෙච්චාවේ කියලා හිතාගෙන ඊයේ රෑ ඒ ක්‍රමය පටන් ගත්තා. දැන් 14 වෙනිදා වෙනකම් දවසකට රු.250 යි ප්ල්ස් ටැක්සුයි ගෙවන්න වෙනවා. වෙන මොනවා කරන්නද... පුලුවන් කෙනෙක් මට කීයක් හරි එවන්න එන මාසේ බිල ගෙවාගන්න හරිද...

ඉතින් සැළකිය යුතු කාලයක් මට ඔයාලගෙන් වෙන් වෙලා ඉන්න වුනානේ... වත් අක්කනම් මං නැති කාලෙත් ඇවිත් ගිහින් තිබුනා. ඒ ලෙංගතුකමට වත් අක්කට ගොඩක් පින්. ගොඩක් කට්ටිය ගොඩක් නිර්මාන, ජීවන අත්දැකීම් පල කරලා තිබුනා. ඒ ඔක්කොම හිමින් සැරේ කියවලා බලන්න ඕනේ. සති දෙකක විතර පෝස්ට්ස්..

මමත් පහුගිය දවස් ටිකේ හිතට ආපු දේවල් ටිකක් කුරුටු ගෑවා. ඒවත් මම පල කරන්නන්කෝ ඉක්මණටම. ඉතින් ඒ නිර්මාන බෙදා හදා ගන්න ඉස්සර වගේම මගේ යාලුවෝ ටිකට මේ බ්ලොග් එකට ඇවිත් යන්න කියලා මම ආරාධනා කරනවා...


අමරදේවයන් ගායනා කරන මෙම ගීතය ඔයාලා කවුරුත් අහලා ඇති. විජය ධර්මශ්‍රී අධ්‍යක්ෂනය කරපු "ආරාධනා" චිත්‍රපටයේ තමයි මෙම ගීතය අඩංගු වෙලා තිබුනේ. රවින්ද්‍ර-මාලිනි සුසංයෝගය රංගනයෙන් දායක වෙච්චි මෙම චිත්‍රපටය සිංහල සිනමාවේ වාණිජ සිනමා දාරාවේ සුවිශේෂි සළකුණක්. ආදරය වගේම විරහවත් එක සේ මුහු කරලා නිර්මානය වෙලා තිබුනු මේ චිත්‍රපටය මගින් සරළ සැහැල්ලු ආදරය විදිනවා වගේම අපි ටිකක් බරපතලව හිතන්නත් ඕනේ කියලා මතක් කරලා දෙනවා. සංගීතය අතිනුත් ඉතාමත් සාර්ථක වෙච්චි මෙහිම තමයි "සීත අරණේ සුපුල් නාමල..." කියන ගීතයත් ඇතුලත් වෙලා තිබුනේ. අහලම බලන්නකෝ...


ඉතින් මම කලින් කිව්වා වගේම ආයෙමත් මාත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලා හැමෝටම ආරධනා කරනවා..

කට්ටියටම සුබ දවසක්...!

මට ලබලා තිබුනු නරක කාලය තවම ඉවර නැහැ වගේ...


මට තියෙන්නෙ ඩයලොග් අන්තර්ජාල සම්බන්ධතාවයක්. අර ඩොංගල් එකක් USB එකට ගහලා ජාල ගතවෙන්න තියෙන්නෙ... ඒකේ තියෙනෙවා සාධරණ භාවිතා කිරීමේ ප්‍රතිපත්තිය කියලා එකක්. ඒ කියන්නෙ මගේ අන්තර්ජාල භාවිතය 5GB ඉක්මවලා ගියහම සම්බන්ධතාවය මන්දගාමි වෙනවා... මන්දගාමි වෙනවා කිව්වව නැහැ වගේ තමයි. පිටුවකින් පිටුවකට මාරු වෙන්න හැට පැයක් යනවා...

ඉතින් මේ මාසේ මගෙ ඒ සීමාව පැනලා. දැන් ඉතින් මොකුත් කර කියා ගන්න බැරිව 15 වෙනිදා වෙනකම් ඇටි කෙහෙල් කාපූ උඟුඩුවා වගේ ඉන්න වෙනවා. කියන්න දේවල් ටිකකුත් තියෙනවා. කරපු නිර්මාණ දෙකකුත් තියෙනවා. ඒ අතරින් සීගිරි.කොම් එකේ කට්ටිය එකතු වෙලා කරපු වෙසක් සත්කාර්‍යෙ කතාවත් ඒ වෙලාවේ දකපු සිද්ධියක් හින්දා මට ආපු සිතුවිල්ලත් ඔයගොල්ලන් එක්ක බෙදා හදා ගන්න ආසාවෙන් ඉන්න. නිර්මානයට එකතු කරන්න පින්තූරයක් දෙකක් ඩවුන්ලෝඩ් කරගන්න සෑහෙන වෙලාවක් යනවනේ...

ඉතින් යාලුවනේ... 15 වෙනිදා වෙනකම් මට තරහා අවසර...!

" ඇයි මං ඒ දේ කළේ..."

ටිකක් කල්පනා කරලා බලන්න. අපි කී සැරයක් අපෙන්ම ඔය ප්‍රශ්නය අහගෙන ඇතිද... ඒ වාරගණන මතක් කරගන්න පුලුවන් අඩු වාර ගණනක් නම්, විවාදයක් නැහැ; ඔබ සාර්ථක පුද්ගලයෙක්...

ඉතින් අද වෙසක් පෝයත් වෙච්චි එකේ මේ කාරණය ඔයාලත් එක්ක බෙදා හදා ගන්න හිතුනා..

තං ච කම්මං කතං සාධු
යං කත්වා නානුතප්පති
යස්ස පතීතෝ සුමනෝ
විපාකං පටිසේවති


සැම දෙනාටම ප්‍රීතිමත් වෙසක් මංගල්‍යයක් වේවා... !



ආදරය...

අනේ මන්දා... මේ දවස් වල මම ආදරය ගැන කතා කරනවා වැඩියි වගේ. කමක් නැහැ. ආදරය කියන්නෙ කොයි තරම් කතා කලත් තවත් ටිකක් කතා කරන්න ඉතිරි වෙන සුන්දර මාතෘකාවක්නේ... අනෙක් එක අපි හැමෝම ආදරය විඳලා තියෙනවා. තවමත් විඳිනවා. ඉස්සරහටත් විඳිවී... ලෝකය පවතින තුරු එහෙම තමයි. කැමතිනම් ටිකක් මතක් කරගන්නකෝ...

මතකද කවදහරි මොහොතක් ඔයාටම ඔයා විඳින ආදරය විස්තර කරගන්න බැරිවෙච්චි... ආදරය හිතපුරාම විහිදිලා හැම ඉඩක්ම අත්පත් කරගෙන හිතන්නවත්, වචන ගලපාගන්නවත් ඉඩක් දීපු නැති වෙලාවක්... නොහිතපු මොහොතක මග අරින්න බැරි කෙනෙක් "ඔයා මට කොයි තරම් ආදරයිද..." කියලා අහපු වෙලාවක්... නැතිවෙන්න විදිහක් නැහැ.

ආදරය හා ගීතය කියන්නෙ කොයි තරම් හැඟුම්බර එකමුතුවක්ද.. ඉවසීමෙන් තෝරාගත්තු වචනයෙන් වචනය එකතු කරලා සිත්තම් කරපු පද වැලකට සත්සර කියන වර්ණයන් එකතුවෙලා ඇදෙන සොදුරුතම සිතුවමකින් ආදරයක දිග පළල කියවෙනකොට කොයි තරම් චමත්කාරද...

අර කියපු ප්‍රශනය මගෙන් අහපු වෙලාවක මමත් අසරණ වුනා. නමුත් ඒ වෙලාවේ මගේ පිහිටට ගීතයක් උන්නා. අහලා බලන්නකෝ...



අඩුම ගානේ 1985 ටවත් කලින් ඉපැදුනු අයට "ගංගා නිස්සංක" හොඳට මතක ඇති. නාට්‍යය මතක නැති වුනත් මේ ගීතයනම් අනිවාර්යෙන්ම මතක ඇති. හරිම ළයාන්විත ගීතයක්... නෙතු පියවෙන්නෙ ඉබේටමයි...


තවත් කාරණා දෙකක් නොකියාම බැහැ. මම මේ ගීතයට කොයි තරම් ආසාකලත් මා ගාව මේ ගීතය තිබුනේ නැහැ. අන්තිමේදි මට මේ ගීතය හොයලා දුන්නෙ එලකිරි එකේ සුරංග. ඒ වෙනුවෙන් මම සුරංගට ගොඩක් ස්තූතිවන්ත වෙනවා.

අනෙක් කාරණය මම මේ උඩ ෆොටෝශොප් එකට යොදාගෙන තියෙන සිංහල ෆොන්ට් එක ගැන. ඒක මම සෑහෙන කාලයක් තිස්සෙ හොයපු එකක්. කොච්චර හෙව්වද කිව්වොත් ඇත්තටම අන්තීමේදී හොයන එක අත ඇරලා දාලා හිටියේ. ඒත් කොහොම හරි ගිය සතියෙ සීගිරී එකේ හිතමිතුරු කියලා මිත්‍රයෙක් මට ඒ ෆොන්ට් එක හොයලා දුන්නා. ඔහුනම් ඇත්තටම හිතමිතුරෙක්...


කරදර එනකොට පොදි බැදගෙන එන්නෙ කියන කතාවේ ඇත්ත මමනම් මේ දවස් ටිකේ හොදටම අත් විදිනවා. කොම්පියුටර් එකේ මදර් බෝර්ඩ් එක පිච්චුනා. වැස්සට ගෙට වතුර දානවා. වතුරේ ඉදලා දැන් නහයත් බුරුල් වෙලා. ප්‍රශ්න වැලයි...

කොහොමෙන් කොහොම හරි මුල් ප්‍රශ්නය විසදා ගත්තා ඊයේ දවසේ. ආයෙමත් කොම්පුටර් එක වැඩ. ඒත් තිබුනු වැඩසටහන් මුකුත් නැහැ. තියාගෙන හිටිය සෙටප් ෆෝල්ඩර්ස් ටිකත් ෆෝර්මැට් කරද්දී නැතිව ගිහිල්ලා. හැම එකම ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. එකත් වැඩකරන හොර කොපි හොයාගන්න ඕනෙනේ. නැතිව ඔරිජිනල් ගන්න සල්ලි තියෙනවා කියලයෑ...

~ ~ ~ ~


මේ මැයි මාසය... ගිය අවුරුද්දෙ මැයි මාසය ශ්‍රී ලාංකිකයෝ වෙච්චි අපිට අමරණිය මාසයක්. අවුරුදු විසි ගානක් තිස්සෙ තිබිච්චි කාලකණ්නි යුද්ධය පටන් ගත්තු, මෙහෙයවපු උන්මත්තකයා අපේ කොල්ලෙක්ගේ වෙඩි පාරකින් මැරිලා වැටුනා. ඒ මානසික අසහන කාරයගේ මරණයත් එක්ක තිබිච්චි හැම ප්‍රශ්ණයක්ම නොවිසදුනත් රට ආපස්සට ඇද ඇද හිටිය මහා නාස්තියක් නවතුනා...

ඒ අවසන් මොහොත වෙනකම් අපේ වීරෝධාර කොල්ලො ටික ආපු ගමන ගැන මුලු ලෝකයම තාමත් පුදුම වෙනවා. තමන් අත ගහපු හැම යුද්ධයක්ම අනාගන්න කොට ලෝකේ සිතියමේ වැරදිලා වැදිච්චි පෑන් තිතක් වගේ රටක ඉන්න කොල්ලෝ ටිකක් මෙච්චර වික්‍රමයක් කලාද කියලා උන්ට තාමත් ඇස් අදහා ගන්න බැහැ. කොටින්ගේ ඩයස්පෝරාව මවලා තිබුනු "LTTE එකකාටවත් පරද්දන්න බැහැ" කියන බොරු ප්‍රතිරූපය සුනු විසුනු වෙලා යනකොට උන් කොච්චර දේවල් කලාද මේ ගමන නවත්තන්න. ඒත් අපේ කොල්ලෝ නෙවෙයි සැලුනේ...

ඒ අභීත විරුවන්ට අපේ ගෞරවය හිමි වෙන්න ඕනේ. අපි හිනා වෙන්නෙ, අපේ අම්මලා තාත්තලා හිනා වෙන්නෙ, අනාගතේ ඉපදෙන අපේ දරුවෝ හිනා වෙන්නෙ ඒ සොයුරු සොයුරියන් ඒ දවස් වල කරපු කැප කිරීම් හින්දයි.

සොයුර... උඹට ජාතී ජාතිත් පින්....


ජීවිතය කොච්චර ලස්සනද... පුදුමාකාර සැහැල්ලුවක්...

හැම තිස්සෙම හිනාවෙනවා. ඉදලා හිටලා අඩන වෙලාවලුත් නැත්තෙ නැහැ. ඒත් ටික වෙලාවයි. ඊට පස්සෙ ඇඩුව ටිකටත් හරියන්න හිනා වෙනවා. ආදරය පිරිලා. යාලූවෝ පිරිලා. කට්ටියම එකතු වෙලා දවසින් දවස ගෙවා දානවා. ගෙවන හැම මොහොතකම සොදුරු මතකයන් එකින් එක ඇමිනිලා ලස්සන කතාවක් ගෙතෙනවා...

බලාපොරොත්තු එකින් එක ඉටු වෙනවා. ඒ වෙනුවට අලුත් අලුත් බලාපොරොත්තු සිය දහසක් සිත් යායට රිංගනවා. සැකයක් නැහැ. ඒ සියල්ලත් ඉටු වෙනවා. අහසේ පාවෙන වළාකුලකුයි මාවයි තරාදියක දාල කිරලා බලන්න. සත්තයි ! වලාකුලේ පැත්ත පහතට ගිහින් මගේ පැත්ත උඩට යාවී...




අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. නන්දා මාලිනියන්ගේ ගීතයක්. සුනිල් ආරියරත්නයන්ගේ ගේය පද රචනයක්. මෙම ගීතය ඇතුලත් වෙලා තිබුනේ 1976 දී තිරගත වෙච්චි "දියමන්ති" කියන චිත්‍රපටයේ. වාණිජ මෙන්ම විචාරක අතිනුත් ඉතා සාර්ථක වුනු දියමන්ති ශ්‍රී ලාංකීය චිත්‍රපට සංගීතයේ රන් සළකුණක්. මේ ගීතයත් එක්ක වික්ටර් රත්නායකයන්ගෙ "ගිගිරි ගීත රාවේ" කියන ගීතයත් ඇතුලත් වෙලා තිබුනු මෙම ච්ත්‍රපටය ඩී.ආර්. පීරිස්ගෙ සංගීත කර්තව්‍යයක්.

සිය දහසක් කවියෝ ආදරය ගැන කවි ලියලා ඇති. සිය දහසක් කතුවරු ආදරය ගැන නවකතා, කෙටි කතා ලියලා ඇති. ඒ අය සිය දහසක් විදි වලින් ආදරය විස්තර කරලා ඇති. ඒත්...

ආදරය ගැන කවි තාමත් ලිය වෙනවා. ආදරය ගැන කතා පුවත් තාමත් ලියවෙනවා. මට හිතෙන්නෙ මේ ලෝකෙ මිනිස් සංහතිය පවතිනකම්ම ඒක එහෙම්ම වෙවී. ආදරය කියන්නේ ඒ තරම්ම සුන්දර හැඟීමක්. මතක් කරලා බලන්න. ආදරය විදිනවා කියන්නෙ කොයි තරම් සොදුරු අත්දැකීමක්ද...

මෙන්න එවන් හැඟීමක් අකුරු වලට පෙරළන්න මම දරපු උත්සහයක්... කියවලා බලලා හිතෙන දෙයක් කියලා යන්නකෝ...


හැම ආදර කතාවක්ම අලුත් ආදර කතාවක්... හැම ආදර කතාවකම අලුත් හැඟීම් ගොන්නක්...






ගීතය කියන්නේ හරිම සුන්දර දෙයක් කියලා තේරිච්චි පුංචි දවස් වල ඉඳලම මම අමරසිරි පීරිස් මහත්තයට කැමතියි. ඒ අමරසිරි මහත්තයගේ ගැඹුරු කට හඩ හින්දා. ඉස්සර ටීවී එකේ "සිරිමැදුර" චිත්රනපටියේ "මිනිසා" සිංදුව යනකොට මම මොන සෙල්ලම කර කර හිටියත් දුවගෙන එනවා සින්දුව අහන්න. ටිකක් උස් මහත් වෙලා අමරදේවයන්ගේ ගීතවලට ඇබ්බැහි වෙච්චි කාලේ, ගීතවල ලොකුම රහ තියෙන්නෙ ඒවායේ වචන වලයි කියලා තේරුනා. ඊට පස්සෙ අමරසිරි පීරිස් මහත්තයට තිබුනු ඒ කැමැත්ත තව තවත් වැඩි උනා.

අමරසිරි පීරිස් මහත්තයා ගායනා කරපු ගීත වලින් මම ඉතාම ආස කරන, අගය කරන ගීතයක් තමයි "කවුරුවත් නැහැ... කවුරුවත් නැහැ..." කියන ගීතය. සාමාන්‍යයෙන් ගීතයකින් අපි කවුරුවත් යන්න නොපෙළඹෙන ඉසව්වකට මේ ගීතයෙන් අමරසිරි මහත්තයා අපිව ගෙනියනවා. අමරසිරි මහත්තයා තමන් තෝරාගත්තු බලගතු වචන පෙළට එතුමගේ ගැඹුරු කටහඩ එකතු කරලා, පදවැලත් එක්ක ඉතා සමීපයෙන් ගමන් ගන්න සරළ, සුගම්‍යය සංගීත කණ්ඩත් එක්ක මුහු කරලා හරි අපූරූ ගීතයක් අපිට රස විදින්න සලස්සනවා.මේ ගීතය ලියලා තියෙන්නෙ කවුද, සංගීතය කාගේද කියන කාරණා නම් ඇත්තටම මම දන්නෙ නැහැ. ඒ කාරණා දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩි සටහනක් දාලා යන්නකෝ... මෙතනින් අහන ගමන් ඉතිරි ටික කියවන්නකෝ...




අද උදේ ඉදලා කීප සැරයක්ම මම මේ සින්දුව ඇහුවා. ඒකට හේතුවක් තියෙනවා. ඊයේ පෙරේදා ප්‍රවෘති බැලුවනම් ඔයගොල්ලන්ට මතක ඇති ඒවායේ කිව්වා පිටකොටුවේ, නුගේගොඩ සහ දෙහිවල ප්‍රදේශ වල තිබිච්චි පදික වෙලන්දුන්ගේ අනවසර ඉදිකිරීම් කිසිම දැනුම්දීමකින් තොරව ඉවත් කරලා කියලා. නගර සංවර්ධනයට කියලයි ඒ වැඩේ කරලා තියෙන්නෙ.


ඔය පැතිවල පාරතොටවල් වල ඇවිදින කිනෙක් විදිහට මමත් කැමතියි කරපු වැඩේට... මිනිස්සු ඕනේ තරම් වාහන වල හැප්පිලා ඇති පේමන්ට් එකේ ඉඩ නැති හින්දා මහපාරේ ගිහිල්ලා. මිනිස්සු යන්නෙ මහපාරේ හින්දා වාහන වලට යන්න තියෙන ඉඩත් අඩුවෙලා ට්‍රැෆික් එකත් වැඩිවෙනවා.අනෙක් එක අවුරුදු කාලෙට අඩියක් තියන්න ඉඩක් නැහැ. බලහත්කාරෙන් වගේ ඇඟේ ගහනවනේ.


ඒත් ටිකක් කල්පනා කරලා බලන්න දේවල් තියෙනවා. ඔය මිනිස්සු හුඟ දෙනෙක් එදා වේල හම්බ කරන් කන මිනිස්සු. ඒ අයටත් අපි වගේ බලාගන්න දරු පවුලක් ඉන්නවා. හුඟක් අය ණය වෙලා බිස්නස් කරන කට්ටිය. ඉතින් මේ වගේ රෑ යද්දි තිබුනු තමන්ගේ කඩය උදේ එද්දි නැති උනාම ඒ මිනිස්සු කොච්ච්ර අසරණ වෙනවද... ඒ මිනිස්සුන්ගෙ දරු පවුල් කොච්චර අසරණ වෙනවද...


කෙනෙකුට පොලිසිය, නාගරික සංවර්ධන අධිකාරිය ලබපු පරණ අත්දැකීම් මත කියන්න පුළුවන් ඔය වඩේ කරන්න පුළුවන් එකම විදිහ ඔය කරපු විදිහ තමයි කියලා. ඒ උනත් අපි අමතක කරන්න හොඳ නැහැ අපි තාමත් දුප්පත් රටක්. මම දේශපාලනයට විරුද්ධ උනත් ඒ එක්කෙනෙක් කියපු කතාවකට මට එකඟ වෙන්න වෙනවා...


"දුප්පතුන් නැති කරලා දුප්පත්කම නැති කරන්න බැහැ..."


අපි ඒ ලෙවල් කරන කාලේ ඉගෙන ගත්තා "තිරසාර සංවර්ධනය" (Sustainable Development) කියලා සංකල්පයක් ගැන. ඒකෙදි කතා කරන්නෙ කෙටි කාලිනව වගේම දිගු කාලිනවත් යහපත් ප්‍රථිඵල ගෙන දෙන ක්‍රම තුලින් සංවර්ධනය ලබා ගත යුතු බවයි. එය එසේ විය යුතුමය. ඒ මිනිසුන්ගේ මිනී මතින්,ඒ මිනිසුන්ගේ දරු පවුල් වල මිනී මතින් ඔබවත් මා වත් සංවර්ධනය කරා යා යුතු නැත. මොකද, තත්තවය එසේ නම් ඔබත් මාත් දෙදෙනාම දුවන්නේ මිරිඟුවක් පිටු පස්සේ...

මෙන්න පුංචි පද පෙළක්

ඔන්න ඔහේ මං ලියලා දාපූ

හිතුනා ඔයාලත් කියවාවී කියලා

පදයෙන් පදය ටිකෙන් ටික

ගණන් ගන්න එපා - හිනා වෙලා ඉන්න


අපි කාට කාටත් ජීවිතය

ප්‍රශ්න පත්තරයක් තමයි

ඒවා මත්තෙම නැහෙන්න ගියොත්

එක දෙක වෙනවා සත්තයි

ගණන් ගන්න එපා - හිනා වෙලා ඉන්න


ඔලුව තියන් නිදාගන්න

තැනක් නැද්ද හිතේ නිදහසට

මෙතෙක් කලත් නිදාගත්තු

ඇද උස්සන් ගියත් කෙනෙක් ඇවිත්

ගණන් ගන්න එපා - හිනා වෙලා ඉන්න


ගෙවල් හිමියා නිතර ඇවිත්

පරක්කු කුලිය ඉල්ලනවද

නඩු දැම්මත් කමක් නැහැ - එතකන්

ගණන් ගන්න එපා - හිනා වෙලා ඉන්න


මේ බලන්නකෝ මා දිහා

මම සතුටින් ඉන්න හැටි

මෙන්න මගේ නොම්බරේ

දුක හිතුනම කතා කරන්න

හිනස්සන්නම් මම ඔයාව

ගණන් ගන්න එපා - හිනා වෙලා ඉන්න


අතේ සත පහක් නැහැ

හිනා වෙන්න කෙල්ලෙක් නැහැ

ජීවීතේම මෙලෝ රහක් නැහැ

අයියෝ… ඕවත් ප්‍රශ්නද

ගණන් ගන්න එපා - හිනා වෙලා ඉන්න


ඔයා දුක් වෙනවා නේද

බලන්න ඔය මූනේ හැටි

තැලිච්චි දෙහි ගෙඩියක් වගේ

ඔයාගෙ මූණ ඇඹුල් වෙනකොට

ඔක්කොගෙම මූණු ඇඹුල් වෙනවා

ඒක හින්දා

ගණන් ගන්න එපා - හිනා වෙලා ඉන්න


මෙන්න පුංචි පද පෙළක්

ඔන්න ඔහේ මං ලියලා දාපූ

හිතුනා ඔයාලත් ඉගෙන ගනීවී

හරියටම මගේ පුතන්ඩියා වගේ

ගණන් ගන්න එපා - හිනා වෙලා ඉන්න


නගන්න හිනාවක් මුව මතට

හිනස්සන්න වටේ ඉන්න අයත්

මොන ප්‍රශ්නය තිබුනත් කමක් නැහැ

ඉකමණට ඉවරයි ඒ ඔක්කොම

ගණන් ගන්න එපා - හිනා වෙලා ඉන්න





Vezi mai multe video din Muzica

~ වහින්නට හැකි නම් ගිඟුම් දී වියළි ගම් බිම් වලට ඉහළින්… ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැළක රහසින්… ~

...

කුරුටු ගෑ සිත්තම්...

එක එක වෙලාවට මගේ හිතට ඇවිදින් අකුරු වලට පෙරලිච්චි මගෙ සිතුවිලි තෝතැන්න...

සිංහලෙන් ලියමු කියමු...

අපි එකම රෑනේ කුරුල්ලෝ...

මේ මොහොත ඔබේය...

මම මම වගේ...

My photo
මම මින්දද. වැඩි කලබලයක් නැති මම පරණ සිංහල සින්දුවක් දෙකක් අහන එක ඇරෙන්න හිතට එන දෙයක් කුරුටු ගාන එක, ෆොටෝ එකක් ගන්න එක තමා නිවාඩුවක් ලැබුනු වෙලාවට කරන්නෙ....

හිත මිතුරු සිතුවිලි...

ගිහින් බැලුවට පාඩු නැහැ...

There was an error in this gadget

ස්තූතියි. නැවත එන්න !

Related Posts with Thumbnails