කරදර එනකොට පොදි බැදගෙන එන්නෙ කියන කතාවේ ඇත්ත මමනම් මේ දවස් ටිකේ හොදටම අත් විදිනවා. කොම්පියුටර් එකේ මදර් බෝර්ඩ් එක පිච්චුනා. වැස්සට ගෙට වතුර දානවා. වතුරේ ඉදලා දැන් නහයත් බුරුල් වෙලා. ප්‍රශ්න වැලයි...
කොහොමෙන් කොහොම හරි මුල් ප්‍රශ්නය විසදා ගත්තා ඊයේ දවසේ. ආයෙමත් කොම්පුටර් එක වැඩ. ඒත් තිබුනු වැඩසටහන් මුකුත් නැහැ. තියාගෙන හිටිය සෙටප් ෆෝල්ඩර්ස් ටිකත් ෆෝර්මැට් කරද්දී නැතිව ගිහිල්ලා. හැම එකම ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. එකත් වැඩකරන හොර කොපි හොයාගන්න ඕනෙනේ. නැතිව ඔරිජිනල් ගන්න සල්ලි තියෙනවා කියලයෑ...
~ ~ ~ ~

මේ මැයි මාසය... ගිය අවුරුද්දෙ මැයි මාසය ශ්‍රී ලාංකිකයෝ වෙච්චි අපිට අමරණිය මාසයක්. අවුරුදු විසි ගානක් තිස්සෙ තිබිච්චි කාලකණ්නි යුද්ධය පටන් ගත්තු, මෙහෙයවපු උන්මත්තකයා අපේ කොල්ලෙක්ගේ වෙඩි පාරකින් මැරිලා වැටුනා. ඒ මානසික අසහන කාරයගේ මරණයත් එක්ක තිබිච්චි හැම ප්‍රශ්ණයක්ම නොවිසදුනත් රට ආපස්සට ඇද ඇද හිටිය මහා නාස්තියක් නවතුනා...
ඒ අවසන් මොහොත වෙනකම් අපේ වීරෝධාර කොල්ලො ටික ආපු ගමන ගැන මුලු ලෝකයම තාමත් පුදුම වෙනවා. තමන් අත ගහපු හැම යුද්ධයක්ම අනාගන්න කොට ලෝකේ සිතියමේ වැරදිලා වැදිච්චි පෑන් තිතක් වගේ රටක ඉන්න කොල්ලෝ ටිකක් මෙච්චර වික්‍රමයක් කලාද කියලා උන්ට තාමත් ඇස් අදහා ගන්න බැහැ. කොටින්ගේ ඩයස්පෝරාව මවලා තිබුනු "LTTE එකකාටවත් පරද්දන්න බැහැ" කියන බොරු ප්‍රතිරූපය සුනු විසුනු වෙලා යනකොට උන් කොච්චර දේවල් කලාද මේ ගමන නවත්තන්න. ඒත් අපේ කොල්ලෝ නෙවෙයි සැලුනේ...
ඒ අභීත විරුවන්ට අපේ ගෞරවය හිමි වෙන්න ඕනේ. අපි හිනා වෙන්නෙ, අපේ අම්මලා තාත්තලා හිනා වෙන්නෙ, අනාගතේ ඉපදෙන අපේ දරුවෝ හිනා වෙන්නෙ ඒ සොයුරු සොයුරියන් ඒ දවස් වල කරපු කැප කිරීම් හින්දයි.
සොයුර... උඹට ජාතී ජාතිත් පින්....