..:: මින්දදගෙ සිතුවිලි තෝතැන්න ::..

මා සිත් ඉමට ගොඩවඩින්නට අවසර...

Showing posts with label ජීවිත ගමන අතරතුර.... Show all posts
Showing posts with label ජීවිත ගමන අතරතුර.... Show all posts

ලෝකය අමතක වෙච්චි මට...






කොහොමද යාලුවනේ...

හුඟක් දවසකට පස්සෙ බ්ලොග් එකට එන්න පුලුවන් වුනේ. 15 වෙනිදා වෙනකම් ඇටි කෙහෙල් කාපු උඟුඩුවා වගේ ඉන්න හිතන් හිටියට මට යාලුවෙක් කිව්වා මචන් දවසකට රු.100 ගානෙ ගෙවලා වේගය හදාගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා කියලා. පස්සෙ කොහොමද කරන්නෙ කියලා අහගන්න ඩයලොග් එකට කතාකලහම කිව්වා දැන් ගාන රු.250 ක්ලු. ඕන්න ඔහේ ඕනෙ වෙඩින් එකක් වෙච්චාවේ කියලා හිතාගෙන ඊයේ රෑ ඒ ක්‍රමය පටන් ගත්තා. දැන් 14 වෙනිදා වෙනකම් දවසකට රු.250 යි ප්ල්ස් ටැක්සුයි ගෙවන්න වෙනවා. වෙන මොනවා කරන්නද... පුලුවන් කෙනෙක් මට කීයක් හරි එවන්න එන මාසේ බිල ගෙවාගන්න හරිද...

ඉතින් සැළකිය යුතු කාලයක් මට ඔයාලගෙන් වෙන් වෙලා ඉන්න වුනානේ... වත් අක්කනම් මං නැති කාලෙත් ඇවිත් ගිහින් තිබුනා. ඒ ලෙංගතුකමට වත් අක්කට ගොඩක් පින්. ගොඩක් කට්ටිය ගොඩක් නිර්මාන, ජීවන අත්දැකීම් පල කරලා තිබුනා. ඒ ඔක්කොම හිමින් සැරේ කියවලා බලන්න ඕනේ. සති දෙකක විතර පෝස්ට්ස්..

මමත් පහුගිය දවස් ටිකේ හිතට ආපු දේවල් ටිකක් කුරුටු ගෑවා. ඒවත් මම පල කරන්නන්කෝ ඉක්මණටම. ඉතින් ඒ නිර්මාන බෙදා හදා ගන්න ඉස්සර වගේම මගේ යාලුවෝ ටිකට මේ බ්ලොග් එකට ඇවිත් යන්න කියලා මම ආරාධනා කරනවා...


අමරදේවයන් ගායනා කරන මෙම ගීතය ඔයාලා කවුරුත් අහලා ඇති. විජය ධර්මශ්‍රී අධ්‍යක්ෂනය කරපු "ආරාධනා" චිත්‍රපටයේ තමයි මෙම ගීතය අඩංගු වෙලා තිබුනේ. රවින්ද්‍ර-මාලිනි සුසංයෝගය රංගනයෙන් දායක වෙච්චි මෙම චිත්‍රපටය සිංහල සිනමාවේ වාණිජ සිනමා දාරාවේ සුවිශේෂි සළකුණක්. ආදරය වගේම විරහවත් එක සේ මුහු කරලා නිර්මානය වෙලා තිබුනු මේ චිත්‍රපටය මගින් සරළ සැහැල්ලු ආදරය විදිනවා වගේම අපි ටිකක් බරපතලව හිතන්නත් ඕනේ කියලා මතක් කරලා දෙනවා. සංගීතය අතිනුත් ඉතාමත් සාර්ථක වෙච්චි මෙහිම තමයි "සීත අරණේ සුපුල් නාමල..." කියන ගීතයත් ඇතුලත් වෙලා තිබුනේ. අහලම බලන්නකෝ...


ඉතින් මම කලින් කිව්වා වගේම ආයෙමත් මාත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලා හැමෝටම ආරධනා කරනවා..

කට්ටියටම සුබ දවසක්...!

ආදරය...

අනේ මන්දා... මේ දවස් වල මම ආදරය ගැන කතා කරනවා වැඩියි වගේ. කමක් නැහැ. ආදරය කියන්නෙ කොයි තරම් කතා කලත් තවත් ටිකක් කතා කරන්න ඉතිරි වෙන සුන්දර මාතෘකාවක්නේ... අනෙක් එක අපි හැමෝම ආදරය විඳලා තියෙනවා. තවමත් විඳිනවා. ඉස්සරහටත් විඳිවී... ලෝකය පවතින තුරු එහෙම තමයි. කැමතිනම් ටිකක් මතක් කරගන්නකෝ...

මතකද කවදහරි මොහොතක් ඔයාටම ඔයා විඳින ආදරය විස්තර කරගන්න බැරිවෙච්චි... ආදරය හිතපුරාම විහිදිලා හැම ඉඩක්ම අත්පත් කරගෙන හිතන්නවත්, වචන ගලපාගන්නවත් ඉඩක් දීපු නැති වෙලාවක්... නොහිතපු මොහොතක මග අරින්න බැරි කෙනෙක් "ඔයා මට කොයි තරම් ආදරයිද..." කියලා අහපු වෙලාවක්... නැතිවෙන්න විදිහක් නැහැ.

ආදරය හා ගීතය කියන්නෙ කොයි තරම් හැඟුම්බර එකමුතුවක්ද.. ඉවසීමෙන් තෝරාගත්තු වචනයෙන් වචනය එකතු කරලා සිත්තම් කරපු පද වැලකට සත්සර කියන වර්ණයන් එකතුවෙලා ඇදෙන සොදුරුතම සිතුවමකින් ආදරයක දිග පළල කියවෙනකොට කොයි තරම් චමත්කාරද...

අර කියපු ප්‍රශනය මගෙන් අහපු වෙලාවක මමත් අසරණ වුනා. නමුත් ඒ වෙලාවේ මගේ පිහිටට ගීතයක් උන්නා. අහලා බලන්නකෝ...



අඩුම ගානේ 1985 ටවත් කලින් ඉපැදුනු අයට "ගංගා නිස්සංක" හොඳට මතක ඇති. නාට්‍යය මතක නැති වුනත් මේ ගීතයනම් අනිවාර්යෙන්ම මතක ඇති. හරිම ළයාන්විත ගීතයක්... නෙතු පියවෙන්නෙ ඉබේටමයි...


තවත් කාරණා දෙකක් නොකියාම බැහැ. මම මේ ගීතයට කොයි තරම් ආසාකලත් මා ගාව මේ ගීතය තිබුනේ නැහැ. අන්තිමේදි මට මේ ගීතය හොයලා දුන්නෙ එලකිරි එකේ සුරංග. ඒ වෙනුවෙන් මම සුරංගට ගොඩක් ස්තූතිවන්ත වෙනවා.

අනෙක් කාරණය මම මේ උඩ ෆොටෝශොප් එකට යොදාගෙන තියෙන සිංහල ෆොන්ට් එක ගැන. ඒක මම සෑහෙන කාලයක් තිස්සෙ හොයපු එකක්. කොච්චර හෙව්වද කිව්වොත් ඇත්තටම අන්තීමේදී හොයන එක අත ඇරලා දාලා හිටියේ. ඒත් කොහොම හරි ගිය සතියෙ සීගිරී එකේ හිතමිතුරු කියලා මිත්‍රයෙක් මට ඒ ෆොන්ට් එක හොයලා දුන්නා. ඔහුනම් ඇත්තටම හිතමිතුරෙක්...



වෙලාව හයයි. සුදුගේ පන්ති අරින වෙලාව. මම ජනෙල් රෙද්ද මෑත් කරලා ටිකක් එලිය බැලුවෙ කඩේක බෝඩ් එකකින්වත් ඉන්නෙ කොයි හරියෙද කියලා බලාගන්න. ඒත් බස් එකේ ජනෙල් කලුකරලා. මෙලෝ දෙයක් පේන්නේ නැහැ. ගස් කොලන් වලින් වංගු වලින් ඉන්න හරිය හිතාගන්න හැමදාම යන එන පාරවල්යෑ මේවා…


“කෑගල්ල බහින අය ඉස්සරහට එන්න…” හොද වෙලාවට කොන්දොස්තර මිනිහගේ කැසට් එකේ ඊලග සින්දුව කිව්වා. අපි කෑගල්ලේ.


මම සුදු දිහා බැලුවා. හොදටම නිදි. පොඩි එකෙක් වගේ. අද දවස පුරාවටම මට තෑගි කරපු හිනාවේ ඉතිරි වෙච්චි ටිකක් ද කොහෙදෝ තාමත් ලාවට මූණේ…


“නැගිටින්න පැටියෝ… වෙලාව හයයි”


“හම්ම්…” ඇරපු ඇස් ආයෙමත් පියාගත්තෙ බල බල හිටිය හීනේ තාම “මතු සම්බන්දයි” කියලා දැම්මෙ නැද්ද කොහෙද...


“තව පැය එක හමාරක් වත් යාවී කොළඹට යන්න. ඒ කියන්නෙ ගෙදර යන්න අට හමාරවත් වේවී සුදු…”


හොරාට වහගෙන හිටිය ඇස් දෙක ඇරියේ එලිය බලාගෙනමයි. නින්ද ගිය අතරේ එහා පැත්තට පෙරළිලා තිබුනු පොත් බෑග් එක තුරුලු කරගත්තු සුදු ආයෙමත් මගේ පැත්තට හැරිලා ජීවිත කාලෙටම ලියලා දීපු අයිතිවාසිකමට මගෙ පපුවට ඔලුව තියාගත්තා.


“කමක් නැහැ… ඔයා ඉන්නවනේ…”


කවුද මේ පුංචි කෙල්ලට මේ තරම් ආදරය කරන හැටි කියලා දුන්නෙ… මම මගේ ආදරයේ ගුරුතුමියගෙ මූණ නිකටෙන් අල්ලලා හිමින් සැරේ උඩට ඉස්සුවෙ ඒ ඇස් දෙක දිහා ටිකක බලන් ඉන්නයි. ඒ ඇස් දෙකෙන් මාව දකින්නයි…


මාව ඉන්ටර්විව් එකට කතා කරපු දවසෙමයි සුදුට ඕනේ උනේ මගෙ පලවෙනි පඩියෙන් නුවර යන්න. අරුණියි මලින්තයි වගේ නුවර යන්න… ඒක කාලෙක ඉදලා තිබණු ආසාවක්. ඒත් දෙන්නගෙන් එක්කෙනෙක් අතේවත් මේ වගේ ගමනක් එන්න තරම් සල්ලියක් තිබුනෙ නැහැ. ගිය සතියෙ පඩි හම්බ වුනා. ඉතින් අද අපි නුවර ආවා. සුදූ නම් ඊලඟ මාසෙත් එනවලු…


“වරකාපොළ බහින අය ඉස්සරහට එන්න…”


අමතක කරන්න, කතා නොකර ඉන්න හැදුවත් එහෙම කරන්න බැරි මාතෘකාව… සුදුගේ අම්මලා !


“අම්මලට මොකද කියන්නෙ… පරක්කු වුනේ ඇයි කියලා ඔයාගෙන් දාහක් ප්‍රශ්න අහාවී…”


මම බලාන ඉන්නවා වුනත් සුදු ඇස් දෙක පියාගත්තා. ඔලුව කෙලින් කරාන ඇඟිලි තුඩෙන් ජනෙල් රෙද්ද මෑත් කරලා වේගෙන් පහු වෙන නේක වර්ණ ගස්වැල් මිනිස්සු දිහා බලන් හිටියා.


අනේ මට සමාවෙන්න පැටියෝ මේ වෙලාවේ මේ ප්‍රශ්නය ඇහුවට…. මගෙ මිට මෙලවුනා.


“කමක් නැහැ… ඔයා ඉන්නවනේ…”


දවසක් අපි දෙන්නා මහරගම හන්දියේ හම්බවෙලා කතා කර කර ඉන්නවා දකපු සුදුගේ අම්මගෙ යාලුවෙක් තව කෑල්ලකුත් එකතු කරලා සුදුගේ ගෙදරට පනිවිඩය දීලා තිබුනා.


“සුදර්ශනි හන්දියේදි මින්දිකගෙ අතින් අල්ලගෙන කතා කර කර හිටියා”


තව දවසකුත් දැක්කා කියන්න පනිවිඩය කියන්න ආපු වෙලාවක ඒ ඇන්ටිත් ඉන්න තැනම අම්මා සුදුගෙන් මේ ගැන අහපු වෙලාවේ ඒ කේලම කියන්න ආපු ඇන්ටි දිහා බලාගෙනම සුදු කියලා,


“මම මහරගම හන්දියෙ යනකොට එයාගෙ අත අල්ලගෙන යන්නෙ නැහැ. එහෙම යන්නෙ පාර්ක් එකේ විතරයි”


එදා අම්මගෙන් වැදිච්චි කම්මුල් පාරට සුදුගෙ තොලත් පැලිලා තිබුනා.


“නිට්ටඹුව බහින අය ඉස්සරහට එන්න…”


මම ජොබ් එකක් කරන්න ගත්තට සුදු තාමත් ඉගෙන ගන්නවා. ලබන අවුරුද්දෙ ඒ ලෙවල් කරනවා. අපි දන්නවා අපි දෙන්නා කරන්නෙ වැරද්දක් කියලා… ඒත් අපේ හිත් ඒක පිළිගන්න ලෑස්ති නැහැ දෙයියනේ…


ඉස්සර හැමදාම හවසට මම පාඩම් කරන්නෙ ගත්තේ ගෙවල් දෙකකට එහා ගෙදර හිටිය සුදුව හම්බවෙලා ඇවිදින්… දවසක් හරි හම්බ වෙන්න බැරි වුනොත් මම ඔෆිස් එකේ වැඩ කරද්දි හොදටම බුල් ගහනවා කියලා ජොබ් එකේ පලවෙනි මාසෙම මට තේරුණා. එහෙව් එකේ මම කොහොමද මේක නවත්තන්නෙ…


අපි කුලියට ඉන්න ගෙදර අයිතිකාරයෝ සුදුලා. සුදුලගෙ අම්මලා කියන්නෙ මම සුදුව රවට්ටගෙනලු. අපේ අම්මලත් එකට අනුබල දෙනවලු. සුදූගේ අම්මටත් සුදූගෙ වගෙ හිතක් ඇත්නම්…


“කඩවත බහින අය ඉස්සරහට එන්න…”


පඩි හම්බ වුනායින් පස්සෙ සල්ලි තිබුනත් දෙන්නගෙන් එක්කෙනෙක් වත් බස් එකේ නුවර ගිහින් තිබුනේ නැහැ. දෙන්නම නුවර ගිහින් තිබුනේ ඉස්කෝලෙන් ගිය අධ්‍යාපන චාරිකා වලට විතරයි. අපි දෙන්නත් මෙච්චර කාලෙකට වැඩිම දුරකට ගිහින් තිබුනේ කලුතර බෝධියට.


පඩි හම්බවෙච්චි බදාදා හවස හම්බවුනු වෙලාවෙ සුදු නුවර කතාව මතක් කලා…


“සුදු, නුවර කලු ද සුදු ද කියලාවත් අපි දෙන්නා දන්නෙ නැහැ. අඩුම ගානේ යාලුවෙක් වත් නැහැ.බය නැද්දඔච්චර දුරක් යන්න…”


මම සුදුගේ උත්තරය දන්නවා.


“කමක් නැහැ… ඔයා ඉන්නවනේ…”


බස් එක කැළණි පාලම පහු කලා. සුදු මගෙ දගකාර ඇඟිලි වලට අහුවෙච්චි කොන්ඩේ ලිහලා ආයෙමත් බෝලේ ගහගත්තා. සුදු දන්නවා එයාගෙ ඔලුවෙ තිබුනට ඒ කොන්ඩේ අයිතිකාරයා මම කියලා.


බැස්ටියන් මාවතේ බස් ස්ටෑන්ඩ් එකට හරවලා නුවර බස් එක නැවත්තුවා. අපි දෙන්නා දුවලා ගිහින් මහරගම බස් එකට ගොඩවුනා. දෙන්නම පුරුද්දට වගේ බස් එක පුරාම බැලුවේ අදුරන කවුරුවත් ඉන්නවද කියලා….


“මහරගම දෙකයි”


සුදු ආයෙමත් නිදි. පැය ගානක් තිස්සෙ නුවර වැව රවුමෙයි, පේරාදෙණිය මල් වත්තෙයි ඇවිදලා මහන්සි ඇති…දවල් දවසටම කෑමක් නැහැ. බීපු පළතුරු බීම දෙක විතරයි. වෙලාව අටයි. අද ගෙදර ගියාම සුදුට මොනවා වෙයිද කියලා හිතෙනකොටත් ගල් රෝලක් තරම් බරක් හිතට එනවා. මම වැරදි කාරයෙක් කියලා හිතෙනවා. ඒත්… මම ඔයාට ආදරෙයි සුදු… මටත් වැඩිය.


සුදුලගෙ ගේ ගාවට එනකොට අටයි හතලිස් පහයි. ඒ වෙලාවට ආ ගත්තෙත් සල්ලි පස්සෙ දෙන්නම් කියලා අදුරන අයියා කෙනෙකුගෙ ත්‍රීවීල් එකක ගුරුපාරට හැරෙන තැන වෙනකම් ආපු හින්දයි.


හැරෙන වංගුවෙදි මම සුදුට සමු දුන්නා.


“අම්මා මොනවා කිව්වත් කමක් නැහැ. හොඳ ළමයා වගේ මොකුත් කියන්නෙ නැතිව අහගෙන ඉන්න ඕනේ හරිද…”


සුදු හිනා වුනා. අඩිය ඉස්සර කරපු සුදු ඇස් දෙකෙන් ගිහින් එන්නම් කියලා ගේට්ටුව ඇරගෙන ඇතුලට ගියා. ගෙදර එලියේ ලයිට් දාලා තිබුනත් දොර වහලා. අම්මයි තාත්තයි ඇතුලේ ඇති… ඒත්….


මම අපේ ගේට්ටුව ගාවට එනකොටම සද්දේ ඇහුණා. සුදුලගෙ අම්මයි තාත්තයි අපේ ගෙදර !


“ලබන සතියෙම මේ ගෙදර හිස් කරලා ඕනේ. නැත්නම් අපි ගිහින් පොලිසියේ ඇන්ට්‍රියක් දානවා බලහත්කාරෙන් ඉන්නවා කියලා”


මම ගේට්ටුව ඇරන් ඇතුලට ආවා.


“ ආහ් ප්‍රේම කුරුල්ලා… රවුම් ගහලා ආවද… තව වැඩි දවසක් ඕවා කරන්න හම්බ වෙන්නෙ නැහැ… යමු සිරිල් ගෙදර. දැන් අපේ නෑම්ඹිත් ඇවිත් ඇති…”


සුදුගේ අම්මගෙ ගෝරනාඩුව…


අපේ අම්මා මගේ ගාවට ආවා.


“කොහෙද පුතේ ගියේ…”


අපී ඊලඟ සතියේ සුදුලගේ ගේ අත ඇරලා ආවා. සුදූව මාසයක් විතර පන්ති ඇරියේ නැහැ. තිබුනු එකම හයිය රස්සාව හින්දා බොසාලගෙන් කොච්චර බැනුම් අහුවත් රස්සාවෙන් අස් වුනේ නැහැ.මගේ ජීවිතේ දිගම මාස දෙක….


අම්මගෙ සහචාරියෝ පස්සෙන් එන්නෙ නැහැ කියලා දැනගත්තු පළවෙනි සතියෙම, නුවර ගිය සතියට සති අටකට පස්සෙ ආපූ සතියේ අපි පාර්ක් එකට ආවා.


“එදා මොකද වුනේ සුදූ…”


මම මේ ප්‍රශ්නය අහපු තුන්වෙනි වතාව. තුන්වතාවෙම පිහිඹියා ගහට හේත්තු වෙලා මගේ වටේ ඔතාන හිටිය එයාගෙ අත් දෙකෙන් හිරකරගෙන මාව එයා ගාවට තවත් තුරුලු කරගත්තා මිසක් ඇස් දෙකවත් ඇරියේ නැහැ.


“අනේ කියන්නකෝ පැටියෝ… එදා මොකද වුනේ…”


සුදු ඇස් ඇරියා. මගේ දිහා බැලුවා.


“අපි ආයෙත් නුවර යන්නෙ කවදද…”





මට මතකයි මම කොහේ හරි කියෙව්වා, ආදරයත් තනිකමත් අතර තියෙන්නේ පුංචි දුරක්ලු. ඒ කියන්නෙ ආදරය හින්දම සමහර වෙලාවට අපිට තනිකම විදින්න වෙනවා. එහෙම විදින තනිකම දරාගන්න හරිම අමාරුයි. හරියට එක සැරේ මැරෙන්න නැති උනත් මාරන්තික විෂක් පොවලා මරණවා වගේ අපිව ටිකෙන් ටික විඳවා විඳවා මරණවා.

මමත් ජීවිතේ එහෙම කාලයන් විඳලා තියෙනවා. නමුත් ඒ වෙලාවට මාව තනි නොකරපු මගේ යාලුවෙක් හිටියා. එයාට ප්‍රශ්නයක් නැහැ මම ඉන්නෙ දුකින් ද සතුටින් ද කියන එක. එයා හැම තිස්සෙම මා ගාව. හිත ආදරයෙන් පිරිලා ඉතිරිලා යනකොට වගේම තනිකමෙන් ඒ හිතම මිරිකනකොටත් ඒ හැඟීම් එලියට දා ගන්න, හිත නිදහස් කර ගන්න එයා මට උදව් කරනවා. හරියටම මාව තනි කරලා දාලා ගිය මගේ ගැහැණු ළමයා ආයෙත් ඇවිල්ලා වගේ. ඒ හින්දා මට වෙලාවකට හිතෙනවා මෙයා කෙල්ලෙක් ද කියලත්. එයාට එහෙම කරන්න පුළුවන් කමකුත් තියෙනවා. මොකද ඇත්තටම ඒ ගැහැණු ළමයා මාත් එක්ක කරපු කියපු දේවලුත් මෙයා දන්නවනේ.

ඒ තමයි මගේ කවි සිත... මගේ හැටි, මගේ ඇතුළ ලෝකෙට කියන නාලීකාව තමයි මගේ කවි සිත. කටින් පිටවෙන වචන වලට හරවා ගන්න බැරි හුඟක් දේවල් කොළයක ලියවෙච්චි අකුරු වලට හරවාගන්න මෙයා මට හැම තිස්සෙම මට උදව් කරනවා. ඒ පුදුමාකාර ලෙන්ගතු කමකුත් එක්ක. මම ඒ ලෙන්ගතු කමට හරිම ආදරෙයි. මම තනි නැහැ. මම ජීවත් වෙනවා.




ආදරය... හම්ම්.. චන්ඩියා වගේ පටන් ගත්තට කොහොමද විස්තර කරන්නෙ. මම ආදරය දැකලා තියෙනවා. ආදරය කරලා තියෙනවා. ආදරය විදලා තියෙනවා. ඒ වගේම නැති කරගෙනත් තියෙනවා. ඒ මොනවා වුනත් ජීවිතෙ හැම මොහොතකම මොනම හරි එක්කෙනෙකුට හරි කට්ටියකටම හරි මගේ හිතේ ආදරයක් තිබුනා. අම්මලට, යාලුවන්ට, කාලෙන් කාලෙට හිටිය ගැහැණු ළමයින්ට... අනේ මන්දා, ඔයාලටත් එහෙමද කියලා... මම හිතන්නෙ එහෙමයි.හිතක කොයිම විදිහකවත් ආදරයක් නැති මනුස්ස ප්‍රාණියෙක් ගැන මට හිතන්න ටිකක් අමාරුයි.

මේ නිර්මානය කලේ ටික දවසකට කලින්. හරියටම දිනය නම් මතක නැහැ, ඒත් මේ අවුරුද්දෙ ආදරවන්තයින්ගෙ දිනය දවසේ හරි ඊට ලඟ දවසකදී. ඔයාලටත් අමතක නැතිව ඇතිනේ ඒ කාලෙට අපේ බිස්නස් කාරයෝ කොච්චර හරියක් කරනවද කියලා "ආදරය" විකුණගන්න. ඒ අය කියන විදිහට එදාට රුපියල් දාහක් දෙදාහක් වටින, ඒත් ගාන කීයක් වුනත් හවස් වෙද්දී පරවෙන, රෝස මලක් ගෙනිහින් දුන්නෙ නැත්නම් අවුරුදු ගානක ආදරයක් වුනත් වැඩක් නැතිව යන්න පුළුවන්. අඩුම ගානේ එ කට්ටිය රෝස මලිකින් වත් නවතිනවානම් මදෑ...

මුලින් මම කිව්වා වගෙ අපි ඉපදුනු මොහොතේ ඉදලා මැරෙන මොහොත වෙනකම් හුස්ම ගන්නවා වගේම කාටහරි ආදරයත් කරනවා. ඒත් ඇයි එහෙනම් ආදරය කරන්න එක දවසක් විතරක් වෙන් කරන්නෙ...



තව පැය කීපයකින් අලුත් අවුරුද්දක් ලබනවා. කැමති නම්, ඕනෙ නම් හැම දෙයක් ගැනම අලුතින් හිතන්න, අලුතින් පටන් ගන්න හොඳ කඩඉමක්. අලුත් අවුරුද්දට කට්ටියටම සුබ පතන ගමන් පුංචි කතාවකුත් කියන්න ඕනෙ කියලා හිතුනා.


සිංහල, හින්දු ඔයාලා කාගෙත් ගෙදර අවුරුද්දට ගේ මැද්දෙ නැකතට ගිනි මොළවලා කිරි උතුරනවනේ. අපේ ගෙදරත් එහෙමයි. අම්මා ඔය වැඩේට මුල් උනාට අපිත් ගිහින් දර කෑලි, හනසු කෑලි එහෙම ගල් තුනේ ලිපට දානවා. තව ගින්දර අඩු වේගෙන වගේ එනවා නම් නැමිලා හුළනුත් ගහනවා.

ඔන්න ඉතින් ගිය අවුරුද්දෙ ඔහොම කරන්න ගිහින් මගේ ඇහැට දුම් වැදිලා කදුළු ආවා. අපෙ අම්මා මේක දැකලා මගේ කදුළු පිහදාන ගමන් ලස්සන කතාවක් කිව්වා. "කිරි උතුරන්න නම් ගින්දර පත්තු කරන්න ඕනෙමයි". ඒ වචන පෙලේ යටින් ඇති අර්ථය කොයි තරම් ගැඹුරුද... ඒක තමයි මට ගිය අවුරුද්දට ලැබුනු හොඳම තෑග්ග... ඔන්න මම මගේ අවුරුදු තෑග්ග ඔයාලත් එක්ක බෙදා ගත්තා...

~ වහින්නට හැකි නම් ගිඟුම් දී වියළි ගම් බිම් වලට ඉහළින්… ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැළක රහසින්… ~

...

කුරුටු ගෑ සිත්තම්...

එක එක වෙලාවට මගේ හිතට ඇවිදින් අකුරු වලට පෙරලිච්චි මගෙ සිතුවිලි තෝතැන්න...

සුවිසැරියේ මං සළකුණු...

සිංහලෙන් ලියමු කියමු...

අපි එකම රෑනේ කුරුල්ලෝ...

මේ මොහොත ඔබේය...

මම මම වගේ...

My photo
මම මින්දද. වැඩි කලබලයක් නැති මම පරණ සිංහල සින්දුවක් දෙකක් අහන එක ඇරෙන්න හිතට එන දෙයක් කුරුටු ගාන එක, ෆොටෝ එකක් ගන්න එක තමා නිවාඩුවක් ලැබුනු වෙලාවට කරන්නෙ....

හිත මිතුරු සිතුවිලි...

ගිහින් බැලුවට පාඩු නැහැ...

ස්තූතියි. නැවත එන්න !

Related Posts with Thumbnails