..:: මින්දදගෙ සිතුවිලි තෝතැන්න ::..

මා සිත් ඉමට ගොඩවඩින්නට අවසර...

Showing posts with label ජීවිතය.... Show all posts
Showing posts with label ජීවිතය.... Show all posts


වෙලාව අටයි විසිහතයි. බස් එකෙන් බැහැලා ඔෆිස් එකට දුවගෙන එනකොට හොඳට දැකලා පුරුදු මුහුණක් ඇස් කොණින් විදුලියක් වගේ මාරු උනා. මම නැවතිලා ආපස්සට හැරුනේ ඉබේටමයි. එයත් ආපස්සට හැරිලා..

"ප්‍රසාදී... "

"මින්දික... "

කොච්චර කාලෙකට පස්සෙ ද අපි දෙන්නා හම්බ වුනේ... දෙන්නම තත්ත්පර ගානක් දෙන්න දිහාම බලන් හිටියා...

" ඔයා කොහෙද මේ... කවදද ලංකාවට ආවේ... කෝ ඔයාගේ දිග කොණ්ඩේ... කෝ ජීවක..."

වචන හිරවෙලා හිටිය තත්ත්පර ගානටත් එක්ක මගෙන් ප්‍රශ්න වැලක් දෝරේ ගලනවා. ඒත් ප්‍රසාදී තාමත් මගේ දිහා බලාගෙන... ඒත් කෝ ඉස්සර ඒ ඇස් වල තිබුනු දිස්නේ..

"ප්‍රසාදී..."

ප්‍රසාදීලා අපේ ගෙවල් එහා පැත්තෙ තිබුනු ඉඩමේ ගෙයක් හදාගෙන ආවේ අපි දෙන්නම හතර වසරේ ඉන්නකොට... අපේ පාරේ තිබුනු අන්තිම ගෙවල් දෙක අපෙයි ප්‍රසාදීලගෙයි. ඊට පස්සෙ තියෙන වෙලට බහින මහ නියරයි පිං ළිඳයි තිබුනේ අපේ ගෙවල් දෙක මැද්දෙන්. ඉතින්..

" මින්දික.. ඔයා මහත් වෙලා..."

" අහ්... ළමයට තාම සිංහල මතකයි.. ඔව් දැන් සැප වැඩියිනේ. ඩබල් වෙලා නේද..."

ප්‍රසාදීගේ මුහුණ තවත් අඳුරු වුනා.

" සිංහල විතරක් නෙවෙයි මින්දික.. මට ඔක්කොම දේවල් මතකයි..."

මෙච්චර වෙලා මගේ මූනේ තිබුනු හිනාව කට කොණින් මහ පාරට පැනලා රේස් එකට අපූ 138 බස් දෙකකට යටවුනා...

අපි දෙන්නා ඉස්සෙල්ලම මුණගැහෙනකොට අපිට වයස නමයයි. සෙල්ලම් බත් උයන වයස පහු වෙලා තිබුනත් අපිට කරන්න ඕනේ තරම් සෙල්ලම් තිබුනා. මමයි, ප්‍රසාදීයි, ප්‍රසාදීගේ මල්ලියි එකතු වෙලා වෙලේ යනවා ගප්පි අල්ලන්න. ප්‍රසාදීට තමයි වැඩියෙන්ම සාරී ගප්පි ඇල්ලෙන්නේ. මොකද එයානේ එකම ගැහැණු ළමයා... මොකා ඇල්ලුනත් පහුවෙනිදා උදේට ඔක්කොම ආයෙමත් වක්කඩේ. එයාගේ සාරි ගප්පි ටික විතරක් නම් මදෑ.. අපි දෙන්නගේ නිකන් ගප්පි ටිකත් ගිහින් හලන එකනේ ඉවසගන්න බැරි...

" කෝ බලන්න මුද්ද... බබාලත් ආවද..."

මම ප්‍රසාදී අත දෙන්නත් කලින් එයාගේ වම් අත ඇදලා ගත්තා. අත පාලුයි. මුද්දක් තියා වළල්ලක්වත් නැහැනේ.. ඉස්සර කොයි වෙලාවෙත් එයාගෙ අතේ අඩුම ගානේ ෆ්‍රෙන්ඩ්ශිප් බෑන්ඩ් එකක්වත් තිබුනා.

" මට ඔයත් එක්ක කතා කරන්න ඕනේ මින්දික.. ප්ලීස්... මට ඔයාගේ එක පැයක් දෙන්න..."

මට වෙලාව බැලුනේ ඉබේටමයි. දැනුයි මතක් වුනේ මම ඔෆිස් යන ගමන් කියලා... අටයි තිස් පහයි. දැනටත් පරක්කුයි. ඒත් ප්‍රසාදී... මොනවද ප්‍රසාදීට මෙච්චර මාත් එක්ක කතා කරන්න තියෙන්නෙ...

" හරි... අපි කේ.එෆ්.සී එකට යමු. මෙතන ඉදන් කතා කරන්න බැහැනේ."

ප්‍රසාදී ඔලුව වැනුවා. අපි දෙන්නා කේ.එෆ්.සී පැත්තට ඇවිදින්න ගත්තා. මම යන අතරතුරේ බොසාට එස්. එම්. එස් එකක් යැව්වා හාල්ෆ් ඩේ එකක් ඉල්ලලා.

ප්‍රසාදීට ඉඳ ගන්න කියලා මම කවුන්ටරේට ගිහිල්ලා කෝක් දෙකක් අරගෙන ආවා. ප්‍රසාදී පාරෙන් එහා පැත්තෙ තියෙන මහරාජා ටවර්ස් දෙක දිහා බලාගෙන බර කල්පනාවක...




" මෙන්න බොන්න..."

" මේ ටවර්ස් දෙක අලුතෙන් ද හැදුවේ..."

" ඔව්.. අලුතින් හැදිච්චි ගොඩක් දේවල් තියෙනවා..."

ප්‍රසාදී මගේ පැත්තට හැරුනා. එයාගේ ඇස් දෙක දිලිසෙනවා. ඔව්. ප්‍රසාදී අඩනවා...

" ප්‍රසාදී... ඇයි මේ... කෝ ජීවක... ඇයි ඔයා තනියම...?"

පහතට දාගෙන හිටිය ප්‍රසාදීගේ වම් අත අරගෙන එයා මේසේ උඩින් තිබ්බා. පාලු අත... මගෙත් දකුණු අත උඩට ඇවිදින් එයාගේ අතට අඟලක් දෙකක් එහායින් නැවතුනේ මටත් නොකියම... පාලු අත...

" ජීවක බැන්ඳා මින්දික... ඒත් මම බැන්ඳේ නැහැ.."

අපි දෙන්නා ශිෂ්‍යත්වෙට පාඩම් කලේ එකට... ඒකෙන් පාස් වෙලා මම ආනන්දෙට තේරෙද්දි එයා තේරුනේ ගෝතමී එකට. අම්මලා කතා වෙලා අපි දෙන්නව දැම්මේ එකම ස්කූල් වෑන් එකට. හැම තැනම බෝම්බ පිපිරෙන ඒ කාලේ වෑන් එකේ ගිය පලවෙනි දවසෙ අපි එනකම් බලාගෙන හිටිය ප්‍රසාදීගේ අම්මා මගේ ලඟට ඇවිත්,

" දෙන්න එකටනේ එන්නේ යන්නේ... මගදී මොනවහරි වුනොත් ප්‍රසාදීව බලාගන්න ඕනේ හරිද..."

" හරි ඇන්ටි... මම බලාගන්නම්. අපි දෙන්නා එකටනේ ඉන්නේ..."

මම නැමිලා හපාගෙන හිටිය බටය අත ඇරලා දාලා ඔලුව කෙලින් කලා.

" ජීවක බැන්ඳා.. මම බැන්ඳෙ නැහැ... මොනවද හලෝ කියන්නෙ..."

හලෝ..? ඒ කාලේ වචනමයි තාමත් එන්නේ.

" ඔව් මින්දික... ජීවක බැන්ඳා... ඒත් මාව නෙවෙයි. ජීවක දැන් ලංකාවේ නැහැ මින්දික. එයාලගේ අම්මලා එයාව ඉතාලියට ගෙන්න ගත්තා."

අපි දෙන්නා හුඟක් දේවල් කලේ එකට.. ගියේ එකම ක්ලාස් වලට. පාඩම් කලේ එකට. ලයිබ්‍රරි ගියේ එකට. කියෙව්වේ එකම පොත්. අපි දෙන්නට එකට කරන්න කොච්චර දේවල් තිබුනද... අපි දෙන්නට කතා කරන්න කොච්චර දේවල් තිබුනද...

ඒත් ඕලෙවල් වලට මට තරම් රිසල්ට් එකක් එයාට ආවේ නැහැ. ඉතින් එයා " මම කොහොමත් කැරපොත්තෝ කපන්නේ කොහොමද.." කියලා කල්පනා කර කර හිටියේ කියලා ආශාවෙන් කර කර හිටිය බයෝ අත ඇරලා කොමර්ස් වලට මාරු උනා. මමත් කර කර හිටිය මැත්ස් කෙරුවාව අත ඇරලා කොමර්ස් වලට ආවා. කොහොමත් මටනම් ඒ වෙනකොටත් සයින් ටීටා එපා වෙලයි තිබුනේ..

ප්‍රසාදී ඔලුව පාත් කර ගත්තා.

" එතකොට ඔයාගේ අම්මා අපේ අම්මත් එක්ක කියලා තිබුනේ ඔයාලා දෙන්නා බැඳලා ඉතාලි ගියා කියලා. ඊට පස්සෙ ඇන්ටිලත් ගෙවල් අත ඇරලා ගියා. ඔය සිද්ධිය වෙලත් දැන් අවුරුදු 4 කටත් වැඩියි. මම හිතන් හිටියේ දැන් අඩුම ගානේ ෆූට් බෝල් ටීම් බාගයක්වත් ඇති කියලා..."

" ඔයා වෙනස් වෙලා නැහැ මින්දික..."

ප්‍රසාදී පෙබරවාරී දොළහා. මම අගෝස්තු විස්ස. ප්‍රසාදී මට වැඩිය මාස හයක් වැඩිමල්. දවසක් ඒ ලෙවල් ක්ලාස් එකකට යන අතරතුර ප්‍රසාදී මගෙන් ඇහුවා,

"කොල්ලා කෙල්ලට වඩා බාල වුනොත් ඒක ප්‍රශනයක් ද.."

මගෙන් ඇහුවේ ප්‍රශ්නයක් වුනාට මට දැනුනේ ඒක මට ලැබුනු උත්තරයක් කියලා. කොහේදෝ මන්දා මටත් නොදැනිම තිබිච්චි සිතුවිලි ගොන්නක් කඩලා දාපූ වක්කඩක් වගේ මගේ හිතට එන්න ගත්තා. අර අපි පොඩි කාලේ ගප්පි අල්ලපු වක්කඩ වගේ... පාට පාට සාරී ගප්පි පිරිලා...

" අවුරුදූ ගානක් නම් ප්‍රශ්නයක්... ඒත් මාස ගානක්නම් ප්‍රශ්නයක් වෙන්න බැහැ කොහෙත්ම..." මම මගේ ප්‍රශ්නේ මුල පද ටික ඇහුවා.

වක්කඩ කැඩිලා. ප්‍රසාදීගේ ඇස් දෙකෙන් කදුළු ගලනවා... කඳුළු... උණු කඳුළු බිංදුව බිංදුව සීතල කෝක් එකට වැටෙනවා..

" ඒ ඔක්කොම බොරු මින්දික... හැමදේම බොරු. මුල ඉඳලා අග වෙනකම්ම බොරු. මම රැවටුනා මින්දික... මට මාව අදුර ගන්න බැරි වුනා මින්දික. මට මිනිස්සු අදුර ගන්න බැරි වුනා මින්දික. ඇයි ඔයා මාව තනි කෙරුවේ... ඇයි ඉස්සර වගේ "ඕකනම් කරන්න එපා හලෝ..." කියන්න මගේ ලඟින් හිටියේ නැත්තේ... මම කවදද ඔයාට යන්න කිව්වේ... කවදද ඔයා මගෙන් යන්නද කියලා ඇහුවේ... ඇයි මින්දික ඇයි... ඇයි මට මේහෙම වුනේ...කියන්න මින්දික ඇයි..."

දෙන්නම කොමර්ස් වලට මාරු වෙලා දෙවනි මාසෙ මම ප්‍රසාදීගෙන් ඇහුවා. " ඔයා මට කැමති ද" කියලා වචන තුනකින් නෙවෙයි. ෆුල්ස්කැප් කොළ හතරක කතාවකින්... මට ඒ තරම් දේවල් කියන්න තිබුනා. අවුරුදු අටක කතාවක් ඒ පිටු හතරට කැටි කරන්න මට මුලු රැයක් නිදි මරන්න වුනා.

පහුවෙනිදා උදේ මම බස් හෝල්ට් එකේදි පොඩියට නමපු මගේ ජීවිතය ප්‍රසාදීට දුන්නා.

"මොකක්ද මේ..."

" මම ලියපු පොඩි කතාවක්... හෙමින් සැරේ කියවලා බලලා මොනවහරි කියන්නකෝ..."

එදා හවස ප්‍රසාදී පුංචි බොරැල්ල බස් හෝල්ට් එකේ හිටියේ නැහැ. මම තුන වෙනකම් බලන් හිටියා. ඒත් එයා ආවේ නැහැ. මම ගෙදර ඇවිත් ඇදුම් මාරු කරන්නෙත් නැතිව ප්‍රසාදීලගේ ගෙදරට ගියා. ඔක්කොම දොරවල් වහලා. ඔයා කොහෙද හලෝ...

මං දෙවනි දවසටත් නිදි නැහැ. පහුවෙනිදා උදේ යද්දි ප්‍රසාදී බස් හෝල්ට් එකේ ඉන්නවා.

" ඊයේ හවස මොකද වුනේ හලෝ..."

කෝ ප්‍රසාදීගෙ හිනාව...?

"මින්දික... ඔයා හැමදේම තේරුම් අරගෙන තියෙන්නෙ වැරදියට..."

මගේ පිටු හතරක කතාවට එයාගෙ විචාරය වචන හයක් විතරයි.




සීතල කෝක් දෙක උණුසුම් වෙනවා. අයිස් කැට දැන් පේන්නෙත් නැහැ.මම ප්‍රසාදීගෙ අතින් අල්ලා ගත්තා. මගේ පාලූ දකුණු අතින් මම ප්‍රසාදීගෙ පාලු වම් අත අල්ලා ගත්තා.

" ඔයා මට යන්න කිව්වෙ නැහැ ප්‍රසාදී... මමයි ගියේ... ඇයි මං තව ඉන්නේ... ජීවකයි මායි අහසට පොළව වගේ. මගේ තුන් වෙනි පරම්පරාව වත් දැන් ජීවකලා ඉන්න තැනට එන එකක් නැහැ. ඉතින් එහෙම එකේ ඔයාගේ ඇහෙ කොණකින්වත් පේන්න මම ඉන්නේ ඇයි ප්‍රසාදී...?"

" ජීවිතය කියන්නෙ සල්ලි නෙවෙයි මින්දික..."

තමන්ගෙ පලවෙනි චිත්‍රපටයම වාරණය වෙච්චි අධ්‍යක්ෂකයා ඊට පස්සෙ නාට්‍ය චිත්‍රපට පිස්සෙක් වුනා. ක්ලාස් වෙනුවට ෆිල්ම් හෝල් වල, එල්පින්ස්ටන් එකේ, නව රඟහලේ, යූත් සෙන්ටර් එකේ කාලය කකා මුල්ම චිත්‍රපටයේ මතකය අමතක කරන්න ක්‍රම හෙව්වා. දවසක් ඒ වගේ තැනකදි හම්බවෙච්චි ඒ වගේම තව අධ්‍යක්ෂක කෙනෙක් අමුතු රහසක් කියලා දුන්නා.

" වරෙන් මචං.. අපි සෙට් වෙලා උඹෙයි මගෙයි තිර නාටක දෙක විශ්ලේෂණය කරමු... එතකොට හොයා ගන්න පුලුවන් කොතනින්ද අපි පිට පැන්නේ කියලා.."

එදා මම පලවෙනි වතාවට සෙට් වුනා. සිය දහස් වාරයක පලවෙනි වතාව... ඩීසීඑස්එල් අති විශේෂ සිට බ්ලැක් ලේබල් ශිවාස් දක්වා ගමනක මුල්ම අඩිය.

අපි දෙන්නා එලියට ආවා. අද මම ඔෆිස් යන්නෙ නැහැ. ප්‍රසාදී තාමත් මගේ අතින් අල්ලගෙන. මම මුලු ලෝකෙම අතින් අල්ලගෙන.

"කොහෙද යන්නේ..." මගේ ලේන්සුවෙන් කඳුළු පිහිදන ගමන් ප්‍රසාදී ඇහුවා.

" යන්නෙද... යන්නෙ පුංචි බොරැල්ලට... පුංචි බොරැල්ලේ ඔයාලගේ හෝල්ට් එකට... එතනින් අපේ ගෙදරට... අපි දෙන්නගේ ගෙදරට... ඒ තැන් දෙක අවුරුදු අටක් බලාගෙන හිටියා අපි දෙන්නා එනකම්..."

ප්‍රසාදී හිනාවුනා... මගේ හලෝ හිනා වුනා...








ජීවිතය කොච්චර ලස්සනද... පුදුමාකාර සැහැල්ලුවක්...

හැම තිස්සෙම හිනාවෙනවා. ඉදලා හිටලා අඩන වෙලාවලුත් නැත්තෙ නැහැ. ඒත් ටික වෙලාවයි. ඊට පස්සෙ ඇඩුව ටිකටත් හරියන්න හිනා වෙනවා. ආදරය පිරිලා. යාලූවෝ පිරිලා. කට්ටියම එකතු වෙලා දවසින් දවස ගෙවා දානවා. ගෙවන හැම මොහොතකම සොදුරු මතකයන් එකින් එක ඇමිනිලා ලස්සන කතාවක් ගෙතෙනවා...

බලාපොරොත්තු එකින් එක ඉටු වෙනවා. ඒ වෙනුවට අලුත් අලුත් බලාපොරොත්තු සිය දහසක් සිත් යායට රිංගනවා. සැකයක් නැහැ. ඒ සියල්ලත් ඉටු වෙනවා. අහසේ පාවෙන වළාකුලකුයි මාවයි තරාදියක දාල කිරලා බලන්න. සත්තයි ! වලාකුලේ පැත්ත පහතට ගිහින් මගේ පැත්ත උඩට යාවී...




අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. නන්දා මාලිනියන්ගේ ගීතයක්. සුනිල් ආරියරත්නයන්ගේ ගේය පද රචනයක්. මෙම ගීතය ඇතුලත් වෙලා තිබුනේ 1976 දී තිරගත වෙච්චි "දියමන්ති" කියන චිත්‍රපටයේ. වාණිජ මෙන්ම විචාරක අතිනුත් ඉතා සාර්ථක වුනු දියමන්ති ශ්‍රී ලාංකීය චිත්‍රපට සංගීතයේ රන් සළකුණක්. මේ ගීතයත් එක්ක වික්ටර් රත්නායකයන්ගෙ "ගිගිරි ගීත රාවේ" කියන ගීතයත් ඇතුලත් වෙලා තිබුනු මෙම ච්ත්‍රපටය ඩී.ආර්. පීරිස්ගෙ සංගීත කර්තව්‍යයක්.

සිය දහසක් කවියෝ ආදරය ගැන කවි ලියලා ඇති. සිය දහසක් කතුවරු ආදරය ගැන නවකතා, කෙටි කතා ලියලා ඇති. ඒ අය සිය දහසක් විදි වලින් ආදරය විස්තර කරලා ඇති. ඒත්...

ආදරය ගැන කවි තාමත් ලිය වෙනවා. ආදරය ගැන කතා පුවත් තාමත් ලියවෙනවා. මට හිතෙන්නෙ මේ ලෝකෙ මිනිස් සංහතිය පවතිනකම්ම ඒක එහෙම්ම වෙවී. ආදරය කියන්නේ ඒ තරම්ම සුන්දර හැඟීමක්. මතක් කරලා බලන්න. ආදරය විදිනවා කියන්නෙ කොයි තරම් සොදුරු අත්දැකීමක්ද...

මෙන්න එවන් හැඟීමක් අකුරු වලට පෙරළන්න මම දරපු උත්සහයක්... කියවලා බලලා හිතෙන දෙයක් කියලා යන්නකෝ...


හැම ආදර කතාවක්ම අලුත් ආදර කතාවක්... හැම ආදර කතාවකම අලුත් හැඟීම් ගොන්නක්...






මෙන්න පුංචි පද පෙළක්

ඔන්න ඔහේ මං ලියලා දාපූ

හිතුනා ඔයාලත් කියවාවී කියලා

පදයෙන් පදය ටිකෙන් ටික

ගණන් ගන්න එපා - හිනා වෙලා ඉන්න


අපි කාට කාටත් ජීවිතය

ප්‍රශ්න පත්තරයක් තමයි

ඒවා මත්තෙම නැහෙන්න ගියොත්

එක දෙක වෙනවා සත්තයි

ගණන් ගන්න එපා - හිනා වෙලා ඉන්න


ඔලුව තියන් නිදාගන්න

තැනක් නැද්ද හිතේ නිදහසට

මෙතෙක් කලත් නිදාගත්තු

ඇද උස්සන් ගියත් කෙනෙක් ඇවිත්

ගණන් ගන්න එපා - හිනා වෙලා ඉන්න


ගෙවල් හිමියා නිතර ඇවිත්

පරක්කු කුලිය ඉල්ලනවද

නඩු දැම්මත් කමක් නැහැ - එතකන්

ගණන් ගන්න එපා - හිනා වෙලා ඉන්න


මේ බලන්නකෝ මා දිහා

මම සතුටින් ඉන්න හැටි

මෙන්න මගේ නොම්බරේ

දුක හිතුනම කතා කරන්න

හිනස්සන්නම් මම ඔයාව

ගණන් ගන්න එපා - හිනා වෙලා ඉන්න


අතේ සත පහක් නැහැ

හිනා වෙන්න කෙල්ලෙක් නැහැ

ජීවීතේම මෙලෝ රහක් නැහැ

අයියෝ… ඕවත් ප්‍රශ්නද

ගණන් ගන්න එපා - හිනා වෙලා ඉන්න


ඔයා දුක් වෙනවා නේද

බලන්න ඔය මූනේ හැටි

තැලිච්චි දෙහි ගෙඩියක් වගේ

ඔයාගෙ මූණ ඇඹුල් වෙනකොට

ඔක්කොගෙම මූණු ඇඹුල් වෙනවා

ඒක හින්දා

ගණන් ගන්න එපා - හිනා වෙලා ඉන්න


මෙන්න පුංචි පද පෙළක්

ඔන්න ඔහේ මං ලියලා දාපූ

හිතුනා ඔයාලත් ඉගෙන ගනීවී

හරියටම මගේ පුතන්ඩියා වගේ

ගණන් ගන්න එපා - හිනා වෙලා ඉන්න


නගන්න හිනාවක් මුව මතට

හිනස්සන්න වටේ ඉන්න අයත්

මොන ප්‍රශ්නය තිබුනත් කමක් නැහැ

ඉකමණට ඉවරයි ඒ ඔක්කොම

ගණන් ගන්න එපා - හිනා වෙලා ඉන්න





Vezi mai multe video din Muzica


"හිතේ සතුට..." අපි හැම දේම කරන්නෙ මේ දේ ලබාගන්නනේ. සමහර අය හොඳින් සතුට ලබා ගන්නකොට සමහර අය නරක, කොට පාරවල් වලිනුත් ගිහින් සතුට හොයාගන්නවා. ඒ මං හිතන්නෙ හුඟ දෙනෙක් හිතනවා සතුට කියන්නෙ සල්ලි කියලා. ඇත්තටම ඒක එහෙමද.... මං හිතන්නෙ නැහැ.


දුප්පත් උනත් සතුටින් ඉන්න අය කොච්චර ඉන්නවද... දවස තිස්සෙ මහන්සි වෙලා හම්බකරගත්තු දෙයක් අඹු දරුවෝ එක්ක බෙදා හදාගෙන කාලා පැදුරට වැටෙන ඒ මනුස්සයන්ට රෑට හොඳට නින්ද යනවා. ඒ අයගෙ ලෝකය පොඩියි. අල්පේඡ්චයි.අර සෝමතිලක ජයමහ ගේ ගීතයකුත් තියෙන්නෙ. කට්ටිය අහලා ඇතිනේ නේද...

අනෙක් එක අපේ පොඩි ඇත්තෝ... පොඩ් ඇත්තෝ කොයි වෙලාවේ බැලුවත් හිනාවෙන්න ඒ අය මහලොකු සල්ලිකාරයෝද.. තාත්තගෙ අම්මගේ පඩි පතේ ගාන ඒ අයට අදාල නැහැ. ඒ අය වගේම ඒ හිනා පොඩිත් අව්‍යාජයි. හදවතින්ම එන සතුටට කට පුරා හිනාවෙනවා මුලු ලෝකෙටම පේන්න.කොයි තරම් සුන්දරද... ලොකු උදවිය ලක්ෂ ගණන් වියදම් කරලා හොයාගන්න හිනාව ඒ අය ලඟ ඕනෑ තරම් තියෙනවා.


ප්‍රශ්නයක් අහන්නම්, ඇත්තම කියනවද... ඔයා ගැන වැඩියෙන්ම දන්නෙ කවුද... ? මම දන්නවා ඔයාගෙ උත්තරය, " මම ගැන වැඩියෙන්ම දන්නෙ මමනේ" . නමුත් ඔය ප්‍රශ්නය තමන්ගෙන්ම අහන්නෙ නැති හින්දද කොහෙද අපි හුඟ දෙනෙක් ඔය කාරණය දන්නෙ නැහැ. ඉතින් අන්තිමේදි අපිම "අපිව" අමතක කරලා දාලා වෙන කෙනෙක් වෙන්න යනවා. ඒත් අවසානෙදි තමයි තේරෙන්නෙ අපි මොනවා කලත් "අපි අපි වගේ" කියලා... එහෙව් එකේ ඇයි අපි "අපි" නොවී වෙන එකෙක් වෙන්න වලි කන්නෙ....




බුදු හාමුදුරුවෝ දෙසූ බණ කවියට හරවපු වීදාගම හාමුදුරුවෝ ලෝවැඩ සඟරාවෙදී වදාලා " දුකකිනි මින්සත් බව ලැබ ගන්නෙ" කියලා. ඉතින් ඒ දුක් විදලා ලබා ගත්තු මේ ජීවිතය නැති කරගන්නෙ ඇයි.. අනෙක් එක ජීවත් වෙනවා කියන්නෙ කොච්චර ලස්සන අත්දැකීමක්ද... ඒ ලස්සන අත්දැකීම විදගන්න අපිට කරන්න තියෙන්නෙ " ජීවිතයට ඉඩ දෙන්න" විතරයි... අප යා යුතු තැන, යා යුතු මග එය තීරණය කරාවී... ඔබට ජය !



~ වහින්නට හැකි නම් ගිඟුම් දී වියළි ගම් බිම් වලට ඉහළින්… ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැළක රහසින්… ~

...

කුරුටු ගෑ සිත්තම්...

එක එක වෙලාවට මගේ හිතට ඇවිදින් අකුරු වලට පෙරලිච්චි මගෙ සිතුවිලි තෝතැන්න...

සුවිසැරියේ මං සළකුණු...

සිංහලෙන් ලියමු කියමු...

අපි එකම රෑනේ කුරුල්ලෝ...

මේ මොහොත ඔබේය...

මම මම වගේ...

My photo
මම මින්දද. වැඩි කලබලයක් නැති මම පරණ සිංහල සින්දුවක් දෙකක් අහන එක ඇරෙන්න හිතට එන දෙයක් කුරුටු ගාන එක, ෆොටෝ එකක් ගන්න එක තමා නිවාඩුවක් ලැබුනු වෙලාවට කරන්නෙ....

හිත මිතුරු සිතුවිලි...

ගිහින් බැලුවට පාඩු නැහැ...

ස්තූතියි. නැවත එන්න !

Related Posts with Thumbnails