..:: මින්දදගෙ සිතුවිලි තෝතැන්න ::..

මා සිත් ඉමට ගොඩවඩින්නට අවසර...

" ඇයි මං ඒ දේ කළේ..."

ටිකක් කල්පනා කරලා බලන්න. අපි කී සැරයක් අපෙන්ම ඔය ප්‍රශ්නය අහගෙන ඇතිද... ඒ වාරගණන මතක් කරගන්න පුලුවන් අඩු වාර ගණනක් නම්, විවාදයක් නැහැ; ඔබ සාර්ථක පුද්ගලයෙක්...

ඉතින් අද වෙසක් පෝයත් වෙච්චි එකේ මේ කාරණය ඔයාලත් එක්ක බෙදා හදා ගන්න හිතුනා..

තං ච කම්මං කතං සාධු
යං කත්වා නානුතප්පති
යස්ස පතීතෝ සුමනෝ
විපාකං පටිසේවති


සැම දෙනාටම ප්‍රීතිමත් වෙසක් මංගල්‍යයක් වේවා... !



ආදරය...

අනේ මන්දා... මේ දවස් වල මම ආදරය ගැන කතා කරනවා වැඩියි වගේ. කමක් නැහැ. ආදරය කියන්නෙ කොයි තරම් කතා කලත් තවත් ටිකක් කතා කරන්න ඉතිරි වෙන සුන්දර මාතෘකාවක්නේ... අනෙක් එක අපි හැමෝම ආදරය විඳලා තියෙනවා. තවමත් විඳිනවා. ඉස්සරහටත් විඳිවී... ලෝකය පවතින තුරු එහෙම තමයි. කැමතිනම් ටිකක් මතක් කරගන්නකෝ...

මතකද කවදහරි මොහොතක් ඔයාටම ඔයා විඳින ආදරය විස්තර කරගන්න බැරිවෙච්චි... ආදරය හිතපුරාම විහිදිලා හැම ඉඩක්ම අත්පත් කරගෙන හිතන්නවත්, වචන ගලපාගන්නවත් ඉඩක් දීපු නැති වෙලාවක්... නොහිතපු මොහොතක මග අරින්න බැරි කෙනෙක් "ඔයා මට කොයි තරම් ආදරයිද..." කියලා අහපු වෙලාවක්... නැතිවෙන්න විදිහක් නැහැ.

ආදරය හා ගීතය කියන්නෙ කොයි තරම් හැඟුම්බර එකමුතුවක්ද.. ඉවසීමෙන් තෝරාගත්තු වචනයෙන් වචනය එකතු කරලා සිත්තම් කරපු පද වැලකට සත්සර කියන වර්ණයන් එකතුවෙලා ඇදෙන සොදුරුතම සිතුවමකින් ආදරයක දිග පළල කියවෙනකොට කොයි තරම් චමත්කාරද...

අර කියපු ප්‍රශනය මගෙන් අහපු වෙලාවක මමත් අසරණ වුනා. නමුත් ඒ වෙලාවේ මගේ පිහිටට ගීතයක් උන්නා. අහලා බලන්නකෝ...



අඩුම ගානේ 1985 ටවත් කලින් ඉපැදුනු අයට "ගංගා නිස්සංක" හොඳට මතක ඇති. නාට්‍යය මතක නැති වුනත් මේ ගීතයනම් අනිවාර්යෙන්ම මතක ඇති. හරිම ළයාන්විත ගීතයක්... නෙතු පියවෙන්නෙ ඉබේටමයි...


තවත් කාරණා දෙකක් නොකියාම බැහැ. මම මේ ගීතයට කොයි තරම් ආසාකලත් මා ගාව මේ ගීතය තිබුනේ නැහැ. අන්තිමේදි මට මේ ගීතය හොයලා දුන්නෙ එලකිරි එකේ සුරංග. ඒ වෙනුවෙන් මම සුරංගට ගොඩක් ස්තූතිවන්ත වෙනවා.

අනෙක් කාරණය මම මේ උඩ ෆොටෝශොප් එකට යොදාගෙන තියෙන සිංහල ෆොන්ට් එක ගැන. ඒක මම සෑහෙන කාලයක් තිස්සෙ හොයපු එකක්. කොච්චර හෙව්වද කිව්වොත් ඇත්තටම අන්තීමේදී හොයන එක අත ඇරලා දාලා හිටියේ. ඒත් කොහොම හරි ගිය සතියෙ සීගිරී එකේ හිතමිතුරු කියලා මිත්‍රයෙක් මට ඒ ෆොන්ට් එක හොයලා දුන්නා. ඔහුනම් ඇත්තටම හිතමිතුරෙක්...


කරදර එනකොට පොදි බැදගෙන එන්නෙ කියන කතාවේ ඇත්ත මමනම් මේ දවස් ටිකේ හොදටම අත් විදිනවා. කොම්පියුටර් එකේ මදර් බෝර්ඩ් එක පිච්චුනා. වැස්සට ගෙට වතුර දානවා. වතුරේ ඉදලා දැන් නහයත් බුරුල් වෙලා. ප්‍රශ්න වැලයි...

කොහොමෙන් කොහොම හරි මුල් ප්‍රශ්නය විසදා ගත්තා ඊයේ දවසේ. ආයෙමත් කොම්පුටර් එක වැඩ. ඒත් තිබුනු වැඩසටහන් මුකුත් නැහැ. තියාගෙන හිටිය සෙටප් ෆෝල්ඩර්ස් ටිකත් ෆෝර්මැට් කරද්දී නැතිව ගිහිල්ලා. හැම එකම ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. එකත් වැඩකරන හොර කොපි හොයාගන්න ඕනෙනේ. නැතිව ඔරිජිනල් ගන්න සල්ලි තියෙනවා කියලයෑ...

~ ~ ~ ~


මේ මැයි මාසය... ගිය අවුරුද්දෙ මැයි මාසය ශ්‍රී ලාංකිකයෝ වෙච්චි අපිට අමරණිය මාසයක්. අවුරුදු විසි ගානක් තිස්සෙ තිබිච්චි කාලකණ්නි යුද්ධය පටන් ගත්තු, මෙහෙයවපු උන්මත්තකයා අපේ කොල්ලෙක්ගේ වෙඩි පාරකින් මැරිලා වැටුනා. ඒ මානසික අසහන කාරයගේ මරණයත් එක්ක තිබිච්චි හැම ප්‍රශ්ණයක්ම නොවිසදුනත් රට ආපස්සට ඇද ඇද හිටිය මහා නාස්තියක් නවතුනා...

ඒ අවසන් මොහොත වෙනකම් අපේ වීරෝධාර කොල්ලො ටික ආපු ගමන ගැන මුලු ලෝකයම තාමත් පුදුම වෙනවා. තමන් අත ගහපු හැම යුද්ධයක්ම අනාගන්න කොට ලෝකේ සිතියමේ වැරදිලා වැදිච්චි පෑන් තිතක් වගේ රටක ඉන්න කොල්ලෝ ටිකක් මෙච්චර වික්‍රමයක් කලාද කියලා උන්ට තාමත් ඇස් අදහා ගන්න බැහැ. කොටින්ගේ ඩයස්පෝරාව මවලා තිබුනු "LTTE එකකාටවත් පරද්දන්න බැහැ" කියන බොරු ප්‍රතිරූපය සුනු විසුනු වෙලා යනකොට උන් කොච්චර දේවල් කලාද මේ ගමන නවත්තන්න. ඒත් අපේ කොල්ලෝ නෙවෙයි සැලුනේ...

ඒ අභීත විරුවන්ට අපේ ගෞරවය හිමි වෙන්න ඕනේ. අපි හිනා වෙන්නෙ, අපේ අම්මලා තාත්තලා හිනා වෙන්නෙ, අනාගතේ ඉපදෙන අපේ දරුවෝ හිනා වෙන්නෙ ඒ සොයුරු සොයුරියන් ඒ දවස් වල කරපු කැප කිරීම් හින්දයි.

සොයුර... උඹට ජාතී ජාතිත් පින්....


ජීවිතය කොච්චර ලස්සනද... පුදුමාකාර සැහැල්ලුවක්...

හැම තිස්සෙම හිනාවෙනවා. ඉදලා හිටලා අඩන වෙලාවලුත් නැත්තෙ නැහැ. ඒත් ටික වෙලාවයි. ඊට පස්සෙ ඇඩුව ටිකටත් හරියන්න හිනා වෙනවා. ආදරය පිරිලා. යාලූවෝ පිරිලා. කට්ටියම එකතු වෙලා දවසින් දවස ගෙවා දානවා. ගෙවන හැම මොහොතකම සොදුරු මතකයන් එකින් එක ඇමිනිලා ලස්සන කතාවක් ගෙතෙනවා...

බලාපොරොත්තු එකින් එක ඉටු වෙනවා. ඒ වෙනුවට අලුත් අලුත් බලාපොරොත්තු සිය දහසක් සිත් යායට රිංගනවා. සැකයක් නැහැ. ඒ සියල්ලත් ඉටු වෙනවා. අහසේ පාවෙන වළාකුලකුයි මාවයි තරාදියක දාල කිරලා බලන්න. සත්තයි ! වලාකුලේ පැත්ත පහතට ගිහින් මගේ පැත්ත උඩට යාවී...




අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. නන්දා මාලිනියන්ගේ ගීතයක්. සුනිල් ආරියරත්නයන්ගේ ගේය පද රචනයක්. මෙම ගීතය ඇතුලත් වෙලා තිබුනේ 1976 දී තිරගත වෙච්චි "දියමන්ති" කියන චිත්‍රපටයේ. වාණිජ මෙන්ම විචාරක අතිනුත් ඉතා සාර්ථක වුනු දියමන්ති ශ්‍රී ලාංකීය චිත්‍රපට සංගීතයේ රන් සළකුණක්. මේ ගීතයත් එක්ක වික්ටර් රත්නායකයන්ගෙ "ගිගිරි ගීත රාවේ" කියන ගීතයත් ඇතුලත් වෙලා තිබුනු මෙම ච්ත්‍රපටය ඩී.ආර්. පීරිස්ගෙ සංගීත කර්තව්‍යයක්.

සිය දහසක් කවියෝ ආදරය ගැන කවි ලියලා ඇති. සිය දහසක් කතුවරු ආදරය ගැන නවකතා, කෙටි කතා ලියලා ඇති. ඒ අය සිය දහසක් විදි වලින් ආදරය විස්තර කරලා ඇති. ඒත්...

ආදරය ගැන කවි තාමත් ලිය වෙනවා. ආදරය ගැන කතා පුවත් තාමත් ලියවෙනවා. මට හිතෙන්නෙ මේ ලෝකෙ මිනිස් සංහතිය පවතිනකම්ම ඒක එහෙම්ම වෙවී. ආදරය කියන්නේ ඒ තරම්ම සුන්දර හැඟීමක්. මතක් කරලා බලන්න. ආදරය විදිනවා කියන්නෙ කොයි තරම් සොදුරු අත්දැකීමක්ද...

මෙන්න එවන් හැඟීමක් අකුරු වලට පෙරළන්න මම දරපු උත්සහයක්... කියවලා බලලා හිතෙන දෙයක් කියලා යන්නකෝ...


හැම ආදර කතාවක්ම අලුත් ආදර කතාවක්... හැම ආදර කතාවකම අලුත් හැඟීම් ගොන්නක්...






ගීතය කියන්නේ හරිම සුන්දර දෙයක් කියලා තේරිච්චි පුංචි දවස් වල ඉඳලම මම අමරසිරි පීරිස් මහත්තයට කැමතියි. ඒ අමරසිරි මහත්තයගේ ගැඹුරු කට හඩ හින්දා. ඉස්සර ටීවී එකේ "සිරිමැදුර" චිත්රනපටියේ "මිනිසා" සිංදුව යනකොට මම මොන සෙල්ලම කර කර හිටියත් දුවගෙන එනවා සින්දුව අහන්න. ටිකක් උස් මහත් වෙලා අමරදේවයන්ගේ ගීතවලට ඇබ්බැහි වෙච්චි කාලේ, ගීතවල ලොකුම රහ තියෙන්නෙ ඒවායේ වචන වලයි කියලා තේරුනා. ඊට පස්සෙ අමරසිරි පීරිස් මහත්තයට තිබුනු ඒ කැමැත්ත තව තවත් වැඩි උනා.

අමරසිරි පීරිස් මහත්තයා ගායනා කරපු ගීත වලින් මම ඉතාම ආස කරන, අගය කරන ගීතයක් තමයි "කවුරුවත් නැහැ... කවුරුවත් නැහැ..." කියන ගීතය. සාමාන්‍යයෙන් ගීතයකින් අපි කවුරුවත් යන්න නොපෙළඹෙන ඉසව්වකට මේ ගීතයෙන් අමරසිරි මහත්තයා අපිව ගෙනියනවා. අමරසිරි මහත්තයා තමන් තෝරාගත්තු බලගතු වචන පෙළට එතුමගේ ගැඹුරු කටහඩ එකතු කරලා, පදවැලත් එක්ක ඉතා සමීපයෙන් ගමන් ගන්න සරළ, සුගම්‍යය සංගීත කණ්ඩත් එක්ක මුහු කරලා හරි අපූරූ ගීතයක් අපිට රස විදින්න සලස්සනවා.මේ ගීතය ලියලා තියෙන්නෙ කවුද, සංගීතය කාගේද කියන කාරණා නම් ඇත්තටම මම දන්නෙ නැහැ. ඒ කාරණා දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩි සටහනක් දාලා යන්නකෝ... මෙතනින් අහන ගමන් ඉතිරි ටික කියවන්නකෝ...




අද උදේ ඉදලා කීප සැරයක්ම මම මේ සින්දුව ඇහුවා. ඒකට හේතුවක් තියෙනවා. ඊයේ පෙරේදා ප්‍රවෘති බැලුවනම් ඔයගොල්ලන්ට මතක ඇති ඒවායේ කිව්වා පිටකොටුවේ, නුගේගොඩ සහ දෙහිවල ප්‍රදේශ වල තිබිච්චි පදික වෙලන්දුන්ගේ අනවසර ඉදිකිරීම් කිසිම දැනුම්දීමකින් තොරව ඉවත් කරලා කියලා. නගර සංවර්ධනයට කියලයි ඒ වැඩේ කරලා තියෙන්නෙ.


ඔය පැතිවල පාරතොටවල් වල ඇවිදින කිනෙක් විදිහට මමත් කැමතියි කරපු වැඩේට... මිනිස්සු ඕනේ තරම් වාහන වල හැප්පිලා ඇති පේමන්ට් එකේ ඉඩ නැති හින්දා මහපාරේ ගිහිල්ලා. මිනිස්සු යන්නෙ මහපාරේ හින්දා වාහන වලට යන්න තියෙන ඉඩත් අඩුවෙලා ට්‍රැෆික් එකත් වැඩිවෙනවා.අනෙක් එක අවුරුදු කාලෙට අඩියක් තියන්න ඉඩක් නැහැ. බලහත්කාරෙන් වගේ ඇඟේ ගහනවනේ.


ඒත් ටිකක් කල්පනා කරලා බලන්න දේවල් තියෙනවා. ඔය මිනිස්සු හුඟ දෙනෙක් එදා වේල හම්බ කරන් කන මිනිස්සු. ඒ අයටත් අපි වගේ බලාගන්න දරු පවුලක් ඉන්නවා. හුඟක් අය ණය වෙලා බිස්නස් කරන කට්ටිය. ඉතින් මේ වගේ රෑ යද්දි තිබුනු තමන්ගේ කඩය උදේ එද්දි නැති උනාම ඒ මිනිස්සු කොච්ච්ර අසරණ වෙනවද... ඒ මිනිස්සුන්ගෙ දරු පවුල් කොච්චර අසරණ වෙනවද...


කෙනෙකුට පොලිසිය, නාගරික සංවර්ධන අධිකාරිය ලබපු පරණ අත්දැකීම් මත කියන්න පුළුවන් ඔය වඩේ කරන්න පුළුවන් එකම විදිහ ඔය කරපු විදිහ තමයි කියලා. ඒ උනත් අපි අමතක කරන්න හොඳ නැහැ අපි තාමත් දුප්පත් රටක්. මම දේශපාලනයට විරුද්ධ උනත් ඒ එක්කෙනෙක් කියපු කතාවකට මට එකඟ වෙන්න වෙනවා...


"දුප්පතුන් නැති කරලා දුප්පත්කම නැති කරන්න බැහැ..."


අපි ඒ ලෙවල් කරන කාලේ ඉගෙන ගත්තා "තිරසාර සංවර්ධනය" (Sustainable Development) කියලා සංකල්පයක් ගැන. ඒකෙදි කතා කරන්නෙ කෙටි කාලිනව වගේම දිගු කාලිනවත් යහපත් ප්‍රථිඵල ගෙන දෙන ක්‍රම තුලින් සංවර්ධනය ලබා ගත යුතු බවයි. එය එසේ විය යුතුමය. ඒ මිනිසුන්ගේ මිනී මතින්,ඒ මිනිසුන්ගේ දරු පවුල් වල මිනී මතින් ඔබවත් මා වත් සංවර්ධනය කරා යා යුතු නැත. මොකද, තත්තවය එසේ නම් ඔබත් මාත් දෙදෙනාම දුවන්නේ මිරිඟුවක් පිටු පස්සේ...

මෙන්න පුංචි පද පෙළක්

ඔන්න ඔහේ මං ලියලා දාපූ

හිතුනා ඔයාලත් කියවාවී කියලා

පදයෙන් පදය ටිකෙන් ටික

ගණන් ගන්න එපා - හිනා වෙලා ඉන්න


අපි කාට කාටත් ජීවිතය

ප්‍රශ්න පත්තරයක් තමයි

ඒවා මත්තෙම නැහෙන්න ගියොත්

එක දෙක වෙනවා සත්තයි

ගණන් ගන්න එපා - හිනා වෙලා ඉන්න


ඔලුව තියන් නිදාගන්න

තැනක් නැද්ද හිතේ නිදහසට

මෙතෙක් කලත් නිදාගත්තු

ඇද උස්සන් ගියත් කෙනෙක් ඇවිත්

ගණන් ගන්න එපා - හිනා වෙලා ඉන්න


ගෙවල් හිමියා නිතර ඇවිත්

පරක්කු කුලිය ඉල්ලනවද

නඩු දැම්මත් කමක් නැහැ - එතකන්

ගණන් ගන්න එපා - හිනා වෙලා ඉන්න


මේ බලන්නකෝ මා දිහා

මම සතුටින් ඉන්න හැටි

මෙන්න මගේ නොම්බරේ

දුක හිතුනම කතා කරන්න

හිනස්සන්නම් මම ඔයාව

ගණන් ගන්න එපා - හිනා වෙලා ඉන්න


අතේ සත පහක් නැහැ

හිනා වෙන්න කෙල්ලෙක් නැහැ

ජීවීතේම මෙලෝ රහක් නැහැ

අයියෝ… ඕවත් ප්‍රශ්නද

ගණන් ගන්න එපා - හිනා වෙලා ඉන්න


ඔයා දුක් වෙනවා නේද

බලන්න ඔය මූනේ හැටි

තැලිච්චි දෙහි ගෙඩියක් වගේ

ඔයාගෙ මූණ ඇඹුල් වෙනකොට

ඔක්කොගෙම මූණු ඇඹුල් වෙනවා

ඒක හින්දා

ගණන් ගන්න එපා - හිනා වෙලා ඉන්න


මෙන්න පුංචි පද පෙළක්

ඔන්න ඔහේ මං ලියලා දාපූ

හිතුනා ඔයාලත් ඉගෙන ගනීවී

හරියටම මගේ පුතන්ඩියා වගේ

ගණන් ගන්න එපා - හිනා වෙලා ඉන්න


නගන්න හිනාවක් මුව මතට

හිනස්සන්න වටේ ඉන්න අයත්

මොන ප්‍රශ්නය තිබුනත් කමක් නැහැ

ඉකමණට ඉවරයි ඒ ඔක්කොම

ගණන් ගන්න එපා - හිනා වෙලා ඉන්න





Vezi mai multe video din Muzica


අපේ හිත කියන්නෙ හරිම අමුතු දෙයක්. ඒ හිත වෙලාවකට අපිව හිනස්සනවා. වෙලාවකට අඩවනවා. අපි රහත් වෙලා නැහැනේ. ඉතින් කොහොමද අපි අපේ හිත් පාලනය කරගන්නේ...

මතකයන්... අපේ හිත හැදිලා තියෙන ප්‍රධාන සංඝටක දෙකෙන් එකක්. [අනෙක් එක තමයි සිතුවිලි.] මතකයන් අපේ හිත ඇතුලට වෙලා අපිට නොදැනෙන්න ඉන්නවා. සමහර දේවල් මැරෙන මොහොත වෙනකම්ම... එහෙම ඉදලා මොනවාහරි අපි දකින හරි අහන හරි විදින හරි දෙයක් හින්දා අපි හිත්න්නෙ වත් නැති වෙලාවක එකින් එක ගැට ගැහිලා ආයෙමත් එලියට එනවා...

එහෙම එන මතකයන් සුන්දර නම් අපි හිනාවේවී... ඒත් ඒ මතකයන් දුක්බරයි නම්...

~ ~ ~ ~ ~

මනුස්සයෝ උනාම පුළුවන් දේවල් තියෙනවා. බැරි දේවල් තියෙනවා. ඒක සාමාන්‍යයි. එහෙම තමයි මේ ලෝකය නිර්මානය වෙලා තියෙන්නෙ. අපිට නොතේරුනාට ස්වභාවධර්මයෙන්ම එහෙම නිර්මානය වෙන්න මොකක් හරි හේතුවක් ඇති....

ඒත් අපේ අයියලා ඕකත් තමන්ගෙ වාසියට හරවාගන්නවා. මොකක්හරි හිතලා කරන්න කම්මැලි හිතුනම ඔය කතාව කියලා පැත්තකට වෙලා ඉන්නවා. එදිනෙදා සමාජයේ ඔයාලත් ඕනේ තරම් ඔය වගේ සිද්දි දැකලා ඇති...

ඔයාලා හිතනවා ඇති මම මේ මොකටද මේ වගේ කතාවක් මෙතැන කියන්නෙ කියලා... මේකයි කාරණය. ඇත්තම කියන්න මට සදැස් ලියන්න බැහැ. කාලයක් තිස්සෙ උත්සහා කලා. ඒත් බැරි උනා. ඊට පස්සේ අන්තිමේදි අර කතාව මමත් හිතාගත්තා.

"මට සදැස් ලියන්න බැහැ... දෙයියන් කියලා පුළුවන් දෙය කරගෙන ඉන්නයි තියෙන්නෙ..."

කාලයක් මමත් ඔහොම හිතාගෙන හිටියා. ඒත් පහුගිය දවස්වල ආයෙමත් පොඩි ඇම්මක් ආවා සදැසක් ලියන්න. ඊට පස්සෙ "සදැසක් ලියා මිස මෙතැනින් නොනැඟිටිමි" කියලා හිතාගෙන පහුගිය සතියේ දවසක ලියන මේසේ ගාවින් ඉදගත්තා.

පැය දෙක තුනකුත් ගියා... පිරිලා තිබිච්චි වතුර බෝතලෙත් ඉවරයි... මීඩියා ප්ලේයර් එකේ දාලා තිබුනු සින්දු ටිකත් තුන් හතර සැරයක් රිපීට් උනා... මගේ නිර්මාන වල මුල් පිටපත් තියෙන නෝට් බුක් එකෙත් පිටු තුන හතරක්ම පිරුනා...

ඇති යාන්තම්....

කොහෙමෙන් කොහොමහරි තටමලා තටමලා අන්තීමේදි බබා හම්බ වුනා. ඒක තමයි මේ දැන් ඔයාලත් එක්ක බෙදාගන්නෙ... කියවලා බලන්නකෝ.


හොයලා බලන්න ඕනෙද...

Loading...
~ වහින්නට හැකි නම් ගිඟුම් දී වියළි ගම් බිම් වලට ඉහළින්… ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැළක රහසින්… ~

...

කුරුටු ගෑ සිත්තම්...

එක එක වෙලාවට මගේ හිතට ඇවිදින් අකුරු වලට පෙරලිච්චි මගෙ සිතුවිලි තෝතැන්න...

සිංහලෙන් ලියමු කියමු...

අපි එකම රෑනේ කුරුල්ලෝ...

මේ මොහොත ඔබේය...

මම මම වගේ...

My photo
මම මින්දද. වැඩි කලබලයක් නැති මම පරණ සිංහල සින්දුවක් දෙකක් අහන එක ඇරෙන්න හිතට එන දෙයක් කුරුටු ගාන එක, ෆොටෝ එකක් ගන්න එක තමා නිවාඩුවක් ලැබුනු වෙලාවට කරන්නෙ....

හිත මිතුරු සිතුවිලි...

ගිහින් බැලුවට පාඩු නැහැ...

There was an error in this gadget

ස්තූතියි. නැවත එන්න !

Related Posts with Thumbnails